Thursday, February 19, 2026
Follow Us
ජනතාවගේ අතේ සල්ලි නැති එකට අපි මොනවා කරන්නද ? - ඇමති බන්ධුල

ජනතාවගේ අතේ මුදල් නොමැති වීම ගැන තමන්ට කරන්නට දෙයක් නොමැති බවත් එය කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් මුළු ලෝකය තුළම උද්ගත වූ පොදු තත්වයක් මිස ශ්‍රී ලංකාවට පමණක් බලපා ඇති එකක් නොවන බවත් වෙළඳ අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා පවසයි.

"පාරිභෝගිකයින්ගෙ ඉල්ලා සිටින්න අපට අයිතියක් තියෙනවා ඔබට මේ වගේ වාසියක් සලසලා තියෙනවා, ඒ වාසිය ලබාගන්නය කියලා. ඇයි එහෙම අයිතියක් නැත්තෙ ? පාරිභෝගිකයින්ට වෙළඳපොලේ තියෙන මිලට වඩා අඩු මිලට භාණ්ඩ 15ක් සපයනවා නම් ඒකෙන් භාණ්ඩ 5ක් හරි ගන්න කියලා ඉල්ලා සිටින්න අයිතියක් නැත්තෙ මොකද ?

ඒක ඉල්ලීමක් කළේ. ඉතිං ඒකට ජනතාව කැමති නැත්නම් එතකොට ඒ ඉල්ලීම අයින් කරනවා"

ප්‍රශ්නය - ජනතාව නම් හැබැයි චෝදනා කරන්නෙ ඔය කියන භාණ්ඩ ටිකවත් මිලදී ගන්න තරම් ජනතාවගේ අතේ මුදල් නැති එක ගැනයි ?

"ඉතිං ඒකට අපට කරන්න පුළුවන් දෙයක් නෑනෙ. මුළු ලෝකෙම නිෂ්පාදන ක්‍රියාවලිය නතර වුණොත්, ඒක තමයි අපි රටක් වැහුවොත් එදිනෙදා ජීවත් වෙන මනුස්සයාට කුලියක් මලියක් කරගන්න බැරිවුණොත් ආදායමක් නෑ. රාජ්‍ය සේවකයො පමණයි මේ රටේ ස්ථාවර වැටුප් ලබන්නෙ. අනිත් අතිමහත් බහුතර ජනතාව ඈත දියඹට ගිහිල්ලා මාළු අල්ලන් එන ධීවරයින්, ගොවිතැනක් බතක් කරන ගොවියෙක්, වඩු බාස්සුන්නැහේ කෙනෙක්, මේසන් බාස්සුන්නැහේ කෙනෙක්, කුලීමලී කරන කෙනෙක්, ජනතාව ජීවත් වෙන්නෙ ජීවිතයත් සමග අරගලයක් ජනතාව හැමදාම කරන්නෙ. ඉතිං ඒකට බාධාවෙලා තියෙනවා මේ කොවිඩ් - 19 වසංගතය. වසංගතය තුළ සෞඛ්‍ය ආරක්ෂක විධිවිධාන, නීති එහෙම තත්වයක් ලෝක ඉතිහාසයේ මීට පෙර වෙලා නෑ කියලා මං කිව්වෙ ඒකයි. යුද්ධයක් තියෙනකොට, වසංගතයක් තියෙනකොට එවැනි දෙයක් ලෝකෙ ඇතිවෙනවා. ඒක ලංකාවට විතරක් තියෙන තත්වයක් නෙවෙයි, මුළු ලෝකෙටම පොදු තත්වයක්"

අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ ඊයේ (06) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

(LNW)