Thursday, February 19, 2026
Follow Us
සිරකරුවන් බලන්න සතියකට දින දෙකක්

රක්ෂිත බන්ධනාගාර ගත සැකකරුවන් හමුවීමට ඔවුන්ගේ අමුත්තන්ට අද සිට සතියකට දින දෙකක් ලබා දෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය පැවසුවේ එක් දිනකදී සැකකරුවෙකු හමුවීමට එක් අමුත්තෙකුට පමණක් එම අවස්ථාව ලබා දෙන බවයි. සැකකරුවන්ට පිසු ආහාර අඩංගු බත් පාර්සලයක් පමණක් ලබාදීමට ද අවසර ලබා දී තිබෙනවා.

ඉරිදා දින හැර සතියේ අනිකුත් දින වල රක්ෂිත බන්ධනාගාර ගත සැකකරුවෙකු හමුවීමට දිනකට අමුත්තන් තිදෙනකුට අවස්ථාව ලබාදී තිබුණා.

එහෙත් කොරෝනා අවදානම හේතුවෙන් ඉකුත් කාල සීමාවේදී එම අවස්ථාව සම්පූර්ණයෙන්ම නතර කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කළා.

කොරෝනා අවදානම අඩුවීමත් සමග යළි සැකකරුවන් බැලීමට අමුත්තන්ට අවස්ථාව ලබාදුන් අතර එය සතියකට එක් දිනයක් ලෙසට සීමා කර තිබුණා.

යළිත් එම අවස්ථාව ලිහිල් කරමින් අද සිට සතියකට දින දෙකක් එම අවස්ථාව ලබාදී ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ .

දිවයිනේ විවිධ ප්‍රදේශවල බන්ධනාගාර 19 ක රඳවා සිටින සැකකරුවන් ගණන 13,000 ක් පමණ වනවා.

(Neth)