Thursday, February 19, 2026
Follow Us
කාබනික වී කිලෝව රුපියල් 100කට මිලදී ගන්න අපි ලෑස්තියි. බය නැතුව වවන්න - ඇමති මහින්දානන්ද

කාබනික පොහොර යොදා වගාකරන වී කිලෝ එකක් රුපියල් 100කට මිලදී ගැනීමට රජය සූදානම් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

ඒ අනුව කිසිදු අනියත බියක් ඇතිකර නොගෙන වගා කටයුතු ආරම්භ කරන ලෙසයි ඒ මහතා ගොවීන්ගෙන් ඉල්ලා සිටියේ.

"දැන් අද දවස වෙනකොට 480,000ක් ගොවීන් ගොවිතැන් වැඩ කටයුතු ආරම්භ කරලා තියෙනවා. ඒ කියන්නෙ 60% - 65%කට ආසන්න ප්‍රමාණයක්. තව සුමානයක් සුමාන දෙකක් යනකොට මේ හෙක්ටයාර් ලක්ෂ 8ම වගා කරලා ගොවීන් අවසන් කරයි. අද වෙනකොට කෘෂිකර්ම ඇමතිවරයාගෙ පඹයෝ හදනවා, කෘෂිකර්ම ඇමතිවරයා පුච්චනවා, කෘෂිකර්ම ඇමතිවරයාට පහර දෙනවා. හැබැයි මේ ගොවි මහත්තුරු මතක තියාගන්න ඕනෙ මේ කෘෂිකර්ම ඇමතිවරයාගේ කාලෙ තමයි ඉතිහාසයේ පළවෙනි වතාවට නාඩු කිලෝ එක රුපියල් 80කට වික්කේ. සම්බා කිලෝ එක 90කට වික්කේ. කීරිසම්බා කිලෝ එක 125කට වික්කේ. සිරිසේන ජනාධිපතිතුමා අපෙ රටේ ගොවියො වෙනුවෙන් කතා කරනවා, නමුත් එතුමාගෙ කාලෙ වී කිලෝ එක රුපියල් 30යි. ඒ නිසා මේ කාබනික කෘෂිකර්මාන්තය සාර්ථක වුණාට පස්සෙ වී කිලෝ එක රුපියල් 100කට ගන්න අපි ලෑස්තියි. මෙච්චර හොඳ මිලක් ඇවිල්ලත් ඒ පිළිබඳ කතා කරන්නෙ නෑ"

මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (03) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

(LNW)