මතභේදයට ලක්ව ඇති පොහොර ආනයනය කළ සමාගමේ දේශීය නියෝජිත ආයතනයේ එක් අධ්‍යක්ෂවරයකුට තමාගේ ඥාතීත්වයක් ඇති නමුත් එම සමාගමේ ව්‍යාපාර කටයුතුවලට තමාගේ කිසිදු සම්බන්ධයක් නොමැති අතර එම සමාගමට ව්‍යාපාර කටයුතු ලබාදීමේදී තමන් කිසිදු මැදිහත්වීමක් හෝ බලපෑමක් කිසිසේත්ම සිදුකර නොමැති බව අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සේදර සෙනරත් මහතා අවධාරණය කරයි.
තමන් විසින් එවැනි මැදිහත්වීමක් හෝ බලපෑමක් කර ඇති බවට කවරෙකු හෝ සතුව අදාළ සාක්ෂි හෝ කරුණු ඇත්නම් ඒ පිළිබඳව විධිමත් පැමිණිල්ලක් ඕනෑම විමර්ශන ආයතනයක් වෙත සිදුකරන ලෙස ඒ මහතා ඉල්ලා සිටින අතර එවන් විමර්ශන ආයතනයක් විසින් සිදුකරන ඕනෑම විමර්ශනයක් සඳහා තමන් කැඳවුවහොත් ඉතාම කැමැත්තෙන් ඊට ඉදිරිපත් වන බවත් ඒ මහතා සඳහන් කරයි.
පසුගිය යහපාලන රජය සමයේදී තමන්ට මෙවැනි අසත්‍ය චෝදනා එල්ල කරමින් විවිධ ආයතන හරහා විමර්ශන සිදුකළ නමුත් එම රජය පැවති වසර හතරකට වැඩි කාලය තුළ ඒ කිසිවක් ඔවුන්ට අධිකරණයක් හමුවේ ඔප්පු කරගත නොහැකි වූ බව පෙන්වා දෙන ඒ මහතා ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය විසින් ද තමන්ව නිදොස්කොට නිදහස් කළ බවයි සිහිපත් කරන්නේ.
අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතා මේ බව පවසන්නේ කාබනික පොහොර ආනයනය සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව සෘජුව හා වක්‍රව තමන් වෙත එල්ල කරන චෝදනාවන්ට ප්‍රතිචාර දක්වමිනි.
(LNW)