ආන්දෝලනයට ලක්ව ඇති, කාබනික පොහොර අඩංගු චීන නෞකාව කිසිසේත්ම මෙරට කිසිදු වරායක් තුළ ඇතුළුකර නොගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා පවසනවා. අද දහවල් පැවති විශේෂ මාධ්‍ය හමුවකට සහභාගිවෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
එපමණක් නොව යළිත් මෙම පොහොර තොගයේ සාම්පල් පරීක්ෂා කිරීමටද කටයුතු නොකරන බවත් මුදල් ගෙවීමද සිදු නොකරන බවත් ඇමතිවරයා පවසනවා. මේ සම්බන්ධයෙන් මීට පෙර රටට සහතිකයක් ලබාදුන් බවත් එය කිසිදු හේතුවක් මත වෙනස් නොකරන බවත් අලුත්ගමගේ මහතා පවසනවා.
චීන සමාගම නෞකාව ආපහු හරවාගෙන ගොස්, ගිවිසුම්ගත වී ඇති ආකාරයට නිසි ප්‍රමිතියට අනුව නැවත පොහොර සකස් කර එවන්නේ නම් නිසි පරීක්ෂණවලින් පසුව ඒවා බාර ගැනීමට සූදානම් බවත් ඉන්පසු මුදල් ගෙවීමට සූදානම් බවත් කෘෂිකර්ම ඇමතිවරයා සඳහන් කරනවා.
කෙසේ නමුත් ඊයේ මාධ්‍ය වාර්තා කර තිබුණේ තෙවැනි පාර්ශ්වයක් හරහා යලිත් සාම්පල පරීක්ෂාවක් කිරීමට කෘෂිකර්ම ඇමතිවරයා සහ රාජ්‍ය ඇමතිවරයා එකඟතාවය පළකර ඇති බවයි.
මීට පෙර සහල් අර්බුදයක් ඇති වූ අවස්ථාවේදී මහින්දානන්ද අළුත්ගමගේ මහතා ස්ථිරවම ප්‍රකාශ කළේ තමා ඇමතිධුරයේ සිටින තාක් සහල් ආනයනය කිරීමට කටයුතු නොකරන බවයි. කෙසේ නමුත් ඉන්පසුව සහල් ආනයනය කිරීමට තීරණය කළ අතර ඉදිරි සති කිහිපය තුළදී එම සහල් තොග මෙරටට පැමිණීමට නියමිතය.
(LNW)