Thursday, February 19, 2026
Follow Us
පාසල්වල රඳවා සිටි පොලිස් නිළධාරීන් ඉවත් කර ගනී

මේ වනවිට අධ්‍යාපන කටයුතු ආරම්භ කර ඇති පාසල්වල ආරක්ෂාව සඳහා රඳවා සිටි පොලිස් නිළධාරීන් ඉවත් කර ගන්නා ලෙස පොලීසිය බාර අමාත්‍ය සරත් වීරසේකර මහතා නියෝග කර තිබෙනවා. අද සිට පොලිස් ආරක්ෂාව අවශ්‍ය නොවන බවයි ඇමතිවරයා පවසන්නේ.

පසුගිය 21 වැනිදා, සිසුන් 200 ට අඩු පාසල්වල ප්‍රාථමික අංශ ආරම්භ වූ අතර කෙසේ නමුත් ගුරු සංගම් ප්‍රකාශ කළේ ගුරුවරුන් සේවයට වාර්තා නොකරන බවයි. මෙම තත්වය හමුවේ සීමිත ප්‍රමාණයක් හෝ ගුරුවරුන් පාසලට ගෙන්වා ගැනීමට ආණ්ඩුව උත්සාහ දැරූ අතර අභ්‍යාසලාභී උපාධිධාරීන්ද පාසල්වලට අනුයුක්ත කිරීමට පියවර ගෙන තිබිණි.

පසුගිය 21, 22 යන දිනවලදී සේවයට වාර්තා කළ ගුරුවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සෑම පාසලක් අසලම පොලිස් නිළධාරීන් රඳවා තබා තිබිණි. ඇමතිවරයා පවසන්නේ සේවයට වාර්තා කළ ගුරුවරුන්ගේ ඉල්ලීමක් අනුව පොලිස් නිළධාරීන් යෙදවීමට තීරණය කළ බවයි.

කෙසේ නමුත් ගුරු වර්ජනය අත්හැර අද සිට සේවයට වාර්තා කිරීමට ගුරු වෘත්තීය සමිති තීරණය කර ඇති හෙයින් තවදුරටත් පාසල්වලට පොලිස් ආරක්ෂාව අවශ්‍ය නොවන බව ඇමතිවරයා පවසනවා.

(LNW)