Friday, February 20, 2026
Follow Us
අභ්‍යාසලාභීන් 21 අනිවාර්යෙන් පාසල් එන්න ඕන

අභ්‍යාසලාභීන් ස්ථිර කිරීම ගැන තීරණයක් ගනී


අධ්‍යාපන අමාත්‍යාංශයට අනුයුක්ත කර ඇති අභ්‍යාසලාභී උපාධිධාරීන් ස්ථිර කිරීම හෝ නොකිරීම පිළිබඳව තීරණය කරන්නේ ඔවුන් මෙම 21 වැනිදා පාසල්වලට වාර්තා කිරීම මත යැයි රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි පැවසීය.

එලෙස නොපැමිණෙන පිරිස් සම්බන්ධයෙන් සොයා බලා වාර්තාවක් ලබාදෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයට දැනුම් දුන් බවද ලේකම්වරයා සඳහන් කළේය.

රාජ්‍ය සේවයට බඳවා ගත් උපාධිධාරීන් අතරින් අධ්‍යාපන අමාත්‍යාංශයට අනුයුක්ත කර සිටින දහඅටදහසක් වන උපාධිධාරීන් සියලුදෙනාම මෙම 21 වැනිදා තමන් සේවය කරන පාසල් වෙත අනිවාර්යෙන්ම යා යුතු බව ලේකම්වරයා පසුගියදා උපදෙස් දී තිබිණි.

කෙසේ වෙතත් එම උපදෙස් නොපිළිපදින අයකු සිටි නම් ඔවුන් සේවයේ ස්ථිර කරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට සිදුවන බවද කියයි.

රාජ්‍ය සේවයට බඳවා ගන්නා පිරිස් සිය සේවයේ ස්ථිර කිරීමටත් පෙර ලබා දෙන උපදෙස් නොපිළිපදින්නේ නම් එම පිරිසගෙන් කිසිඳු ඵලක් නැති බව රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි අවධාරණය කර සිටී.

මේ අතර පාසල් ආරම්භ කෙරෙන මුල් දින දෙකේ දී ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ වර්ජනය ක්‍රියාත්මක වුව ද පාසලට පැමිණෙන දරුවන්ගේ කටයුතු කළමනාකරණය කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනෙන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා ‘අරුණ’ට ඊයේ (18 වැනිදා) පැවසීය.

(Aruna)