බලශක්ති අමාත්‍යංශයේ බලාපොරොත්තුව
ඉන්ධන මිල ඉහළ දැමීම සඳහා අද (18 වැනිදා) පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලැබෙනු ඇතැයි බලාපොරොත්තුවෙන් සිටින බව බලශක්ති අමාත්‍යංශයේ ලේකම් කේ.ඩී.ආර්. ඔල්ගා ‘අරුණට’ පැවැසීය.
පසුගිය සැප්තැම්බර් මාසය අවසන් වන විට පෙට්‍රල් ලීටරයකින් රුපියල් 15ක්ද, ඩීසල් ලීටරයකින් රුපියල් 30ක්ද අලාභයක් ලංකා ඛනිජ තෙල් සංස්ථාව ලබමින් සිටීම සහ ලෝක වෙළෙඳපොළේ සීග්‍ර මිල ඉහළ යෑම් හේතුවෙන් දේශීය ඉන්ධන මිල ඉහළ දැමීම හැර වෙනත් විකල්පයක් නොමැති බවද ලේකම්වරිය පෙන්වා දුන්නාය.
“ඉන්ධන මිල සංශෝධනයට අවශ්‍ය අනුමැතිය ඉල්ලීම පසුගිය සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා. අද හෙට (18 වැනිදා) පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී මිල සංශෝධනයක් ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. එහෙම නොකර වෙන විසඳුමක් නැහැ. රජයෙන් ඉන්ධනවලට අයකරන බදු ප්‍රමාණයත් හැකි උපරිමයෙන් අඩු කරලයි තියෙන්නේ. දැනට ඩීසල් ලීටරයකින් රුපියල් නවයකුත්, පෙට්‍රල් ලීටරයකින් රුපියල් තිහකුත් පමණයි රජය බදු වශයෙන් අයකරන්නේ. ඩීසල්වලට අයකරන සම්පූර්ණ බද්ද ඉවත් කළත් තවත් රුපියල් නවයක් වැඩිකළ යුතුයි පාඩුව අවම කරගැනීමට. ඒ නිසා දැනට පවතින පාඩුව නවත්වා ගැනීමට නම් මිල සංශෝධනයක් සිදුකළ යුතුමයි ” යැයි ලේකම්වරිය ප්‍රකාශ කළාය.
එසේම ගෝලීය ඉන්ධන මිල අවිනිශ්චිත බව මධ්‍යයේ වුවද මුදල් අමාත්‍යාංශය මගින් යම් මුදලක් ලබාදෙන්නේ නම් දේශීය සැපයුම්කරුවන් ආරක්ෂා කිරීම සඳහා ඉන්ධන මිල ස්ථායිකරණ අරමුදල නැවත ස්ථාපිත කළ හැකි බවද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
(Aruna)