විශ්‍රාම යන වයස ගැන අදහස් දක්වමින මහා බැංකු අධිපති අද කිව්ව කතාව
පෞද්ගලික අංශයේ සේවකයන් විශ්‍රාම යාමේ අවම වයස පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිණිස කම්කරු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් මෙම සතියේ දී අනුමත කර තිබුණි.
යෝජිත පනත ක්‍රියාත්මක වන දිනයේදී වයස අවුරුදු 52 එළඹ නොමැති සේවකයින්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 දක්වා දීර්ඝ කිරීමටත්, පනත ක්‍රියාත්මක වන දිනයේදී වයස අවුරුදු 52 හෝ ඊට වැඩි සේවකයින් ඔවුන්ගේ වයස අනුව කාණ්ඩ තුනක් යටතේ උපරිම වශයෙන් වයස අවුරුදු 59 දක්වා සේවයේ යෙදවීමටත් හැකි වන පරිදි විධිවිධාන ඇතුළත් කර නීති කෙටුම්පත් සම්පාදක විසින් සම්පාදනය කරනු ලැබ තිබේ.
සේවකයින් හට ඔවුන්ගේ අර්ථසාධක අරමුදල් ලබා ගත හැකි වයස් සීමාව අවුරුදු 55 බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
වයස අවුරුදු 55 දී විශ්‍රාම යාමට සූදානම් සේවකයින් හට ඔවුන්ගේ අර්ථසාධක අරමුදල ආපසු ලබා ගැනීමේ හැකියාව තිබෙන්නේ වයස අවුරුදු 55 දී ද නැතිනම් 60 දී ද යන කරුණ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහ බැංකු අධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ.
“ඕනෑම කෙනෙකුට ඕනෑම වයසක දී විශ්‍රාම යන්න පුළුවන්. සල්ලි EPF එකෙන් ගන්න පුළුවන් වෙන්නේ 55 දී. යම් පුද්ගලයෙකුට ඊට පෙර විශ්‍රාම යාමට අවශ්‍ය නම් යන්න පුළුවන්. යම්කිසි පුද්ගලයෙක් වයස අවුරුදු 60 වෙනතුරු වැඩකරනවා නම්, ඒ වයස දක්වා දැනට තියෙන නීතිය අනුව EPF ගෙවිය යුතු වෙනවා” යනුවෙන් අධිපතිවරයා පැවසීය.
(Aruna)