ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කාබනික පොහොර වැඩසටහන අභියෝගාත්මක එකක් වන නමුත් එම අභියෝගය අනිවාර්යයෙන්ම ජයගන්නා අතරම ගොවීන්ට ද අසාධාරණයක් වීමට ඉඩ නොතබන බව ක්‍රීඩා, තරුණ කටයුතු හා ව්‍යාපෘති අධීක්ෂණ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.
"අතිගරු ජනාධිපතිතුමා දැඩි තීන්දුවක් ගත්තා මේ රටේ ජනතාවගේ සෞඛ්‍ය සහ අනාගත පරම්පරාව ගැන හිතලා. ඒක අභියෝගාත්මකයි. හැබැයි මේ අභියෝගය ජයගන්නවා වගේම අපි ගොවියාට අසාධාරණයක් වෙන්න ඉඩ තියන්නෙ නෑ. යම්කිසි හෙයකින් අස්වැන්න අඩුවුණොතින් ඒකට වන්දි ගෙවන්නත් කෘෂිකර්ම අමාත්‍යතුමාට අතිගරු ජනාධිපතිතුමා උපදෙස් දීලා තියෙනවා.
ලෝකෙ තියෙන ඉහළම, අවශ්‍ය ඉහළම තාක්ෂණයෙන් යුතු පොහොර ලංකාවට ගෙනල්ලා දැනට පළවෙනි අදියර ලබාදෙන්නත් ඉන්පසුව අපේ රටේ මේ පොහොර නිෂ්පාදනය කරලා පොහොරවලිනුත් ස්වයංපෝෂිත කරන්න අවශ්‍ය වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කරනවා.
ඉතිං මේක අභියෝගාත්මක කාලයක්. අපි ගොවි ජනතාවගෙනුත් ඉල්ලන්නෙ, අපි දන්නවා මේක අමාරුයි සහ බියක් තියෙනවා. චකිතයක් තියෙනවා. අපි තුළත් ඒක තියෙනවා. මොකද අපිත් මේ දිස්ත්‍රික්කවල ගොවි ජනතාව ආශ්‍රය කරන, ගොවි පවුල්වලින් ආපු අය. මේ සඳහා තිරසාර විසඳුමක් අපි ලබාදෙනවා"
අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ නිපුණතා සංවර්ධන වැඩසටහනක් සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා ඊයේ (14) නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමිනි.
(LNW)