කොවිඩ් වසංගතයත් සමග වසර දෙකක දී සියලු අංශයන්හි සිදු වූ පසුබෑම ජයගැනීමට, නව සාමාන්‍යකරණය යටතේ නව ජවයකින් වැඩ කිරීමට සූදානම් වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දිස්ත්‍රික් ලේකම්රුවන්ට පවසා තිබේ.
දිස්ත්‍රික් ලේකම්වරුන් සමග අද (07) පෙරවරුවේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ.
නව සාමාන්‍යකරණය යටතේ ආර්ථිකය මෙහෙයවීමට රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව ප්‍රධාන සාධකයක් වන අතර එළැඹෙන කාලපරිච්ඡේදය තුළ සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයම ජනතා අවශ්‍යතාවන් ඉටුවන පරිදි කැපවීමෙන් සහ උනන්දුවෙන් ක්‍රියා කළ යුතු බවත් එහිදී දිස්ත්‍රික් ලේකම්වරුන්ට විශාල කාර්ය භාරයක් පැවරෙන බවත් ජනාධිපතිවරයා පවසා තිබේ.
ජනාධිපතිවරයා ගත් තීරණයට ශක්තියක් වෙමින් ඉලක්ක ජයගැනීම සඳහා වේගවත් හා කාර්යක්ෂම රාජ්‍ය සේවයක් වෙනුවෙන් කැපවීමට සියලු දෙනා සූදානම් බව දිසාපතිවරු සඳහන් කර ඇත.
රජයේ සැලසුම් ප්‍රකාරව අපේක්ෂා කළ ඉලක්ක කරා එළැඹීමට නොහැකි වුවත් සියලු පාර්ශ්වයන්ගේ කැපකිරීම මත කොවිඩ් මර්දනයට සාර්ථකව මුහුණ දීමට හැකි විය. එන්නත්කරණයත් සමග නව සාමාන්‍යකරණයට කඩිනමින් එළැඹීමට උදා වූ අවස්ථාව මග නොහැර ඉලක්ක ජයගැනීම සියලු දෙනා ඉදිරියේ ඇති වගකීම බව ජනාධිපතිතුමා පෙන්වා දෙයි.
කෘෂිකර්මාන්තය මූලික කරගත් 70%ක් පමණ වන ගැමි ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමේ වැඩපිළිවෙළක රජය නිරතව සිටී. කාබනික පොහොර ප්‍රතිපත්තිය සමග හරිත ආර්ථිකයක්, පොසිල ඉන්ධන සහ ගල්අඟුරු වෙනුවට පුනර්ජනනීය බලශක්තිය වෙත නැඹුරු වීම, සංචාරක කර්මාන්තයේ යළි පිබිදීම සහ ආයෝජන අවස්ථා සඳහා ශක්තිමත් පසුබිමක් සැකසීම ජයගත යුතු අභියෝග අතර වන බවයි මෙහිදී ජනාධිපතිවරයා .පෙන්වා දී ඇත්තේ.
මෙම ඉලක්ක සපුරා ගැනීමට බාධාවක් වන, අදට නොගැළපෙන චක්‍රලේඛ සහ අණ – පනත් කඩිනමින් සංශෝධනය වීමේ අවශ්‍යතාව දිස්ත්‍රික් ලේකම්වරු පෙන්වා දී ඇත. පවතින තත්ත්වය දීර්ඝ වශයෙන් සමාලෝචනයට ලක් කෙරුණු අතර සියලුම ක්ෂේත්‍ර ආවරණය කෙරෙන අලුත් ආරම්භයක් වෙනුවෙන් පැමිණෙන බාධක නිරාකරණයට තමා සූදානම් බවද ජනාධිපතිතුමා අවධාරණය කර ඇත.
ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්වරු මෙම සාකච්ඡාවට එක්ව තිබේ.
(LNW)