Friday, February 20, 2026
Follow Us
අත්‍යවශ්‍ය නොවන ද්‍රව්‍ය වෙත පැනවූ සීමා ලිහිල් වන ලකුණු

අත්‍යවශ්‍ය නොවන ද්‍රව්‍ය සහ උපකරණ සඳහා දැනට පනවා ඇති ආනයන සීමා හැකිතාක් දුරට අවම වන පරිදි සහන ලබාදෙන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මහ බැංකු අධිපතිවරයාට උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ, අත්‍යවශ්‍ය නොවන ද්‍රව්‍ය සහ උපකරණවලට දැනට පනවා තිබෙන ආනයන සීමා හේතුවෙන් ව්‍යාපාරිකයන් සහ ජනතාව පත්ව ඇති අපහසුතා සැලකිල්ලට ගනිමින්. ඒ අනුව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඊට අදාළ විසදුම් ඉදිරිපත් කිරීමට නියමිත බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ.
ඇතැම් ආනයන සීමා හේතුවෙන් මෙරට කර්මාන්ත ක්‍ෂේත්‍රයටත් එමගින් අපනයන ආර්ථිකයටත් බලපෑම් එල්ල විය හැකි බව නෙත් නිවුස් ඉකුත්දා පළමුවරට අනාවරණ කළේ ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ මෙන්ම විද්වතුන්ගේ ද අදහස් ගෙනහැර දක්වමින්.

කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශද ප්‍රකාශ කර තිබුණේ ආනයන සීමා හේතුවෙන් ඇතැම් කර්මාන්ත සඳහා අමුද්‍රව්‍ය සපයාගත නොහැකිව ඇතැම් කර්මාක්තකරුවන් අසීරුතාවන්ට පත්ව ඇති බවයි.

මේ අතර කොළඹ වරායේ සිරවී ඇති අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මුදාහැරීම සඳහා ශ්‍රී ලංකා මහබැංකුව විසින් අමෙරිකානු ඩොලර් මිලියන 50ක් නිකුත් කිරීමට පියවර ගෙන තිබුණා.

මහ බැංකු අධිපති, අජිත් නිවාඩ් කබ්රාල් පැවසුවේ, කොළඹ වරායේ සිරවී ඇති අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මුදාහැරීම සඳහා තවත් මුදල් අවශ්‍ය නම් එය ලබාදීමට ද ශ්‍රී ලංකා මහ බැකුව සුදානම් බවයි.

(Neth)