Friday, February 20, 2026
Follow Us
සහල් මාෆියාකාරයන්ට නටන්න දෙන්නෑ, රටින් සහල් ගෙන්වා 100 ට අඩුවෙන් විකුණනවා - බන්දුල

විදෙස් රටවලින් සහල් ආනයනය කිරීම කඩිනමින් සිදු කරන බවත්, සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බවත් වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ඒ අනුව ඉතා ඉක්මනින් රුපියල් 100 ට අඩුවෙන් පාරිභෝගිකයන්ට සහල් මිලදී ගැනීමට හැකිවනු ඇති බවයි ඇමතිවරයා සඳහන් කරන්නේ.

පසුගිය සඳුදා පැවති කැබිනට් රැස්වීමේදී සහල්, කිරිපිටි, පාන්පිටි, ගෑස්, සිමෙන්ති ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල සහ භාණ්ඩ වෙළඳපොලේ හිගවීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති අතර අවසානයේදී තීරණය කර තිබෙන්නේ එම භාණ්ඩවල මිල වැඩි නොකළ යුතු බවයි.

පාරිභෝගික ජනතාවට අවශ්‍ය සහල් සාධාරණ මිලට දේශීය වෙළඳපොලේ මිලදී ගැනීමට අවස්ථාව නොලැබෙන්නේ නම්, වෙළඳපොලට සහල් නිකුත් කිරීම සීමා කරන්නේ නම් රජයට ඊට මැදිහත්වීමට සිදුවන බවයි බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරන්නේ. සහල් ආනයනය කර හෝ සාධාරණ මිලට පාරිභෝගිකයාට ලබාදීම රජයේ වගකීම බවත්, එම වගකීම නිවැරදිව තේරුම් ගනිමින් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට තීරණය කළ බවත් ඔහු පවසනවා.

ඒ අනුව සහල් මාෆියාවට, මහා පරිමාණ වී මෝල් හිමියන්ට පාරිභෝගිකයන් ගසාකෑමට ඉඩ ලබාදී නිහඬව සිටීමට රජය සූදානම් නොමැති බව අමාත්‍යවරයා අවධාරණය කරනවා.

(LNW)