Friday, February 20, 2026
Follow Us
ඩොලර් ඕනනම් මුදල් අමාත්‍යාංශයට කියන්න

වරායේ ආහාර නිදහස් කරගන්න ආනයන කරුවන්ට ක්‍රමවේදයක්


වරායේ ගොඩගැසී ඇති අත්‍යවශ්‍ය භාණ්ඩ තොග නිදහස් කර ගැනීම සඳහා ආනයන කරුවන්ට අවශ්‍ය ඩොලර් නිකුත් කිරීමේ ක්‍රමවේදයක් සකස්කර ඇති බව මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල පවසයි.

යම් ආනයනකරුවකුට වරායේ ඇති භාණ්ඩ තොග නිදහස් කර ගැනීමට අවශ්‍ය නම් ඒ පිළිබඳ මුදල් අමාත්‍යාංශයට දැනුම්දිය යුතු බවත් මුදල් ලේකම්වරයා සඳහන් කරයි.

ඩොලර් හිඟය සහ තවත් ගැටලු හේතුවෙන් තමන් මුහුණ දී ඇති අර්බුදය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පසුගිය සති අන්තයේ මහබැංකු නව අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සහ මෙරට ආනයන හා අපනයනකරුවන් අතර විශේෂ සාකච්ඡාවක් සංවිධානය කර තිබිණි. කොළඹ වරායේ පර්යන්තයේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගොඩගැසීම වැළැක්වීම සඳහා පියවර ගන්නා ලෙස ආනයනකරුවන් ඉල්ලීමක් කර ඇත. සීනි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර තොග අන්තර්ගත කන්ටේනර් 1300කට වැඩි සංඛ්‍යාවක් ඩොලර් හිඟය හේතුවෙන් නිෂ්කාශනය කිරීමට නොහැකිව ගොඩගැසී තිබීම පදනම් කරගනිමින් මෙම ඉල්ලීම සිදු කර තිබිණි.
මීට පෙර පසුගිය සිකුරාදා (24 වැනිදා) අගමැති මහින්ද රාජපක්ෂද වරායේ ගොඩගැසී ඇති කන්ටේනර් වහාම නිදහස් කිරීමට අවශ්‍ය නියෝගයක් නිකුත් කළේය. කෙසේවෙතත් එම නියෝගය අදාළ වී ඇත්තේ සීනි කන්ටේනර් 500කට පමණක් බව රේගු වාර්තා සඳහන් කරයි. එහිදී අගමැතිවරයා හමු වූ ආනයනකරුවන් ප්‍රකාශ කර තිබුණේ භාණ්ඩ ආනයනය සඳහා අවශ්‍ය එක්සත් ජනපද ඩොලර් බාධාවකින් තොරව ලබාගත හැකි බවට රජය සහතික කළ යුතු බවත්, එසේ කිරීමට අපොහොසත් වුවහොත් තවදුරටත් ආහාර හිඟවීමට සහ මිල ඉහළ යෑමට හේතුවනු ඇති බවත්ය.

(Aruna)