ඇමැති සබ්රි සිරකරුවන්ට වටිනා අවස්ථා දෙකක් දෙයි
යහපත් කල්ක්‍රියාවෙන් සිටින සිරකරුවන්ට සතියක කාලයක් පවුලේ සාමාජිකයින් සමග කාලය ගතකර පැමිණීම සඳහා අවස්ථාවක් වහාම ලබාදෙන බව අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ අලි සබ්රි ඊයේ (23) පැවැසීය.
අධිකරණයෙන් වැරදිකරුවන් වී සිරදඬුවම් ලබා සිටින පිරිසක් වැලිකඩ බන්ධනාගාරයේ වහලය මත නැගී සිදු කරන උද්ඝෝෂණය පිළිබඳව සොයා බැලීම සඳහා එම බන්ධනාගාරයට ගිය අවස්ථාවේදී මාධ්‍යවේදීන් වෙත අදහස් පළ කරමින් අධිකරණ ඇමැතිවරයා එසේ පැවැසීය.
දිගින් දිගටම වැරදි කරන මිනිසුන් මෙන්ම ජීවිතයේ එක් වතාවක් වැරදි කරන පුද්ගලයන්ද බන්ධනාගාරයේ සිටින බවත් එම පුද්ගලයන්ට වැරදි නිවැරදි කර ගැනීමට එක් අවස්ථාවක් සලසා දිය යුතු බවත් අධිකරණ ඇමැතිවරයා පැවැසීය.
ජනාධිපතිවරයා ලබාදුන් උපදෙස් පරිදි බන්ධනාගාරවල තිබෙන ගැටලුවලට කඩිනමින් විසඳුම් ලබාදීමට කටයුතු කරන හෙයින්, වහලය මත නැගී සිදුකරන උපවාසය අත්හැර දමන ලෙස අධිකරණ ඇමැතිවරයා සිරකරුවන්ගෙන් ඉල්ලා සිටියේය.
බන්ධනාගාර පනත අනුව ඇමැතිවරයාට පැවරී ඇති බලතල මත යහපත් කල් ක්‍රියාවෙන් සිටින සිරකරුවන් සඳහා එක් සතියකට නිවාඩු ලබාදීමේ හැකියාවක් පවතින බව සඳහන් කළ අධිකරණ ඇමැතිවරයා ‘සිරකරුවන්ද මනුෂ්‍යයන්’ය යන්න සිරමැදුරුවල තාප්පවලට පමණක් සීමා නොකර එය ක්‍රියාවෙන්ම ඔප්පු කළ යුතු යැයි පැවැසීය.
(Aruna)