Friday, February 20, 2026
Follow Us
තමන්ට එරෙහිව ගොනු කළ පෙත්සමට විරෝධතා ගොනු කරනවා - මහ බැංකු අධිපති අධිකරණයට කියයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ලෙස තමන් කටයුතු කිරීම අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති රිට් පෙත්සමට එරෙහිව විරෝධතා ඉදිරිපත් කරන බව මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඊයේ අභියාචනාධිකරණයට දැනුම් දුන්නා. ඒ, ඔහු එම ධූරය දැරීමට එරෙහිව දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර රජිත් කීර්තිතෙන්නකෝන් ගොනු කළ පෙත්සමක් ඊයේ කැඳවූ අවස්ථාවේදීයි.

ඒ අනුව මෙම පෙත්සමට එරෙහිව විරෝධතා ඉදිරිපත් කිරීමට කල් ලබා දෙන ලෙසයි මහ බැංකු අධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේ.

පෙත්සමට අදාළව ඇතැම් ලේඛන ඊයේ දිනයේ ලැබුනු බැවින් ඒවා පරිශීලනය කිරීමට කල් අවශ්‍ය බවයි ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා අභියාචනාධිකරණය හමුවේ පැවසුවේ. ඒ අනුව මෙම පෙත්සම ඔක්තෝබර් මස 7 වනදා සලකා බැලීමට සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණ ද්වීපුද්ගල විනිසුරු මඬුල්ල තීරණය කළා.

(Neth)