Friday, February 20, 2026
Follow Us
බිල නොගෙව්වොත් වතුර කැපෙයි

වතුර බිල් ගැන ජල සම්පාදනයෙන් තීරණයක් ගනී


මාස හයකට වැඩි කාලයක් ජල බිල්පත් නොගෙවූ පාරිභෝගිකයන් 73,000කගේ ජල සැපයුම අත්හිටුවීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සූදානම් වෙයි. ජල සම්පාදන අමාත්‍යාංශය ගත් තීරණයකට අනුව මෙම පියවර ගැනීමට නියමිතය.

මෙම ජල පාරිභෝගිකයන්ගෙන් අයවිය යුතු මුදල රුපියල් කෝටි 145කි. කෙසේ වෙතත් ජල පාරිභෝගිකයන් බිල්පත් නොගෙව්ව නිසා මණ්ඩලයට අහිමව ඇති මුදල රුපියල් කෝටි 800කි. මාස හයකට වැඩි කාලයක් ජල බිල්පත් නොගෙවූ පාරිභෝගිකයන් වෙත බිල්පත් ගෙවන ලෙස දැනුම් දෙමින් එස්.එම්.එස්. පණිවුඩයක්ද යොමු කර තිබේ. එම පණිවුඩය යොමු කිරීමෙන් පසු පාරිභෝගිකයන් සියයක් පමණ බිල්පත් ගෙවා ඇති බව මණ්ඩලය ප්‍රකාශ කරයි.

සංචාරක කර්මාන්තය බිඳ වැටීම හේතුවෙන් දිවයින පුරා හෝටල් රැසකද ජල බිල්පත් ගෙවා නැති අතර එම ආයතනද මෙම පාරිභෝගිකයන්ට ඇතුළත්ය.

ජල සම්පාදන මණ්ඩලයට සේවා සැපයීම සඳහා මාසිකව රුපියල් කෝටි 200ක මුදලක් වැය වන බැවින් කඩිනමින් බිල්පත් ගෙවීමද පාරිභෝගිකයන්ගේ වගකීමක් බව ජල සම්පාදන ඇමැති වාසුදේව නානායක්කාර ප්‍රකාශ කරයි.

(Aruna)