වැලිකඩ බන්ධනාගාරයේ විරෝධතාවයේ නිරත සිරකරුවන්ගේ ඉල්ලීම තමන්ට ඉටුකළ නොහැකි බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.
ඊයේ පස්වරුවේ සිට චැපල් වාට්ටුවේ රඳවා සිටින සිරකරුවන් 10 දෙනෙකු එහි වහලය මත නැග විරෝධතාවයක නිරත වන්නේ තමන් නිදහස් කරන ලෙස බල කරමින්.
සිරකරු දිනය නිමිත්තෙන් සුළු වැරදි සඳහා බන්ධනාගාර ගත කර සිටි රැඳවියන් 89 දෙනෙකු ජනපති පොදු සමාව යටතේ ඉකුත් දා නිදහස් කෙරුණා.
ඊයේ පස්වරුවේ සිට සිරකරුවන් 10 දෙනෙකු වැලිකඩ බන්ධනාගාරයේ ගොඩනැගිල්ලක වහලයක් මත නැගී විරෝධතාවයක් ආරම්භ කළේ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වී සිටින තමන් ද නිදහස් කරන ලෙස බල කරමින්.
මේ අතර අදාළ සිරකරුවන් සමග ඊයේ පස්වරුවේ පැවැති සාකච්ඡාවකදී බන්ධනාගාර කොමසාරිස්වරයකු පෙන්වා දී ඇත්තේ ඔවුන්ගේ ඉල්ලීම බන්ධනාගාර දෙපාර්තමේන්තුවට ඉටුකළ නොහැකි බවයි.
කෙසේවෙතත් ඒ බව නොසලකා හැර ඇති අදාල සිරකරුවන් තවදුරටත් වහලය මත නැග විරෝධතාවයේ නිරත වනවා.
මරණ දඬුවම නියම වී සිටින සහ ජීවිතාන්තය දක්වා සිරදඬුවමට ලක්ව සිටින සිරකරුවන් 1,500 ක් පමණ වැලිකඩ චැපල් වාට්ටුවේ රඳවා සිටිනවා.
ඔවුන් මත්කුඩු ජාවාරම්කරුවන් සහ දරුණු ඝණයේ අපරාධකරුවන් බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ. වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින මුළු සිරකරුවන් ගණන 2,800 ක් පමණ වනවා.
වහලයක් මත නැග විරෝධතාවයේ නිරත සිරකරුවන් 10 දෙනාට සහාය පළ කරමින් ඊයේ රාත්‍රියේ වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් බහුතරයක් ආහාර වර්ජනය කර තිබුණු බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.
(Neth)