Friday, February 20, 2026
Follow Us
කොරෝනා ආසාදිතයින්ට දිනකට අති විශාල වැය බරක්

මෙරට කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීම සදහා රජයට දෛනිකව අති විශාල වැය බරක් දැරීමට සිදුව ඇතැයි ඖෂධ නිෂ්පාදන, සැපයීම් සහ නියාමන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය ආර් එම් එස් කේ රත්නායක පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ එම වැය බර අවම කර ගැනීමට නම් මෙරට පුද්ගලයින් කඩිනමින් කොරෝනා මර්දන එන්නත ලබා ගැනීමට කටයුතු කළ යුතු බවයි.

කොරෝනා වසංගත තත්වය හමුවේ මෙරට ආර්ථිකයද දැඩි පසුබෑමකට ලක්ව තිබෙනවා. සාමාන්‍ය කොරෝනා රෝගියෙකුට දෛනිකව රුපියල් 1800කට වැඩි මුදලක් ප්‍රතිකාර සදහා වැය වනවා.

දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන රෝගියෙකු සදහා දෛනිකව රුපියල් හැත්තෑපන්දහසත් දෙලක්ෂයත් අතර මුදලක් වැයවන බවයි ඖෂධ නිෂ්පාදන, සැපයීම් සහ නියාමන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය ආර් එම් එස් කේ රත්නායක නෙත් නිවුස් වෙත කියා සිටියේ.

මෙරටින් දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව අඩුවීමත් සමග රෝහල්වල ඔක්සිජන් මත යැපෙන රෝගීන්ගේ පැහැදිලි අඩුවක්ද දක්නට ඇති බව ද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

මේ අතර යළි රට විවෘත කර සාර්ථකව ඉදිරියට යාමට නම් සියලු දෙනා වගකීමෙන් කටයුතු කළ යුතු බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙන්නේ.

එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද කියා සිටියේ සෑම දෙයකටම පිළිතුර රට වසා තැබීම නොවන බවයි.

(Neth)