ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 25 දෙනෙකු, සහකාර පොලිස් අධිකාරි තනතුරේ තාවකාලික පදනමින් රාජකාරී ආවරණය සඳහා පත් කර තිබෙනවා.
පොලිස්පතිවරයා විසින් එම පත් කිරීම් සිදුකර ඇත්තේ මහජන ආරක්ෂක අමාත්‍යංශයේ අනුමැතිය සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ එකගතාව අනුවයි.
නිලධාරීන්ගේ පවතින ඌණතාව හේතුවෙන්, ප්‍රධාන පොලිස් පරීක්ෂක ජ්‍යෙෂ්ඨතා ලේඛණයේ ඉහළින්ම ස්ථානගතවී ඇති කිසිඳු විනය චෝදනාවක් හෝ අධිකරණ ක්‍රියාමාර්ග නොමැති නිලධාරීන් 25 දෙනෙකු එලෙස සහකාර පොලිස් අධිකාරි තනතුරට පත් කර ඇති බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ.
ගොඩනැගිලි කොට්ඨාශයේ රාජකාරී කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක එස් එස් බී මඩකුඹුර, කොළඹ මධ්‍යම කොට්ඨාශයේ රාජකාරී කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක එස් ඩබ්ලිව් එච් අනුර, මඩකලපුව කොට්ඨාශයේ රාජකාරි කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ ඒ වාහිඩ්, තොරතුරු තාක්ෂණ කොට්ඨාශයේ රාජකාරී කළ ආර් එම් පී එස් ඩී බී රත්නායක ඇතුළු පිරිසකට එලෙස උසස්වීම් ලබාදී තිබෙනවා.
(Neth)