ජාතීන් අතර සමගිය වර්ධනය කර ගනිමින් ඉදිරියට ගමන් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ උපරිම සහාය ඉතා ධනාත්මකව ශ්‍රී ලංකාවට ලබාදෙන බව එහි මහලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග පවසා තිබෙනවා. ඊයේ (19) පස්වරුවේ නිව්යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී ජනාධිපතිවරයා සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා අතර පැවති විශේෂ හමුවේදී ඔහු මේ බව සඳහන් කළේය.
එක්සත් ජාතීන්ගේ මූලස්ථානයට පැමිණි ජනාධිපතිවරයා උණුසුම් අයුරින් පිළිගත් ගුටරේස් මහතා, 1978 වසරේදී අන්තර් පාර්ලිමේන්තු සංගමය නියෝජනය කරමින් ශ්‍රී ලංකාවට පැමිණි තමන් මහනුවර, අනුරාධපුරය, පොළොන්නරුව සහ ත්‍රිකුණාමලය ප්‍රදේශවල කළ සංචාර හා ශ්‍රී ලංකාව පිළිබඳව සුන්දර මතකය අවදි කරනු ලැබුවා.
එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහකොමසාරිස් ලෙස ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වැඩ කිරීම හා 2006 වසරේදී එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවූ අවස්ථාව පිළිබඳවත් ගුටරේස් මහතා විසින් මෙහිදී සිහිපත් කරනු ලැබුවා.
වසර 30 කට ආසන්න කාලයක් පැවති ගැටුම්කාරී බව නිසා ඉතා සංකීර්ණ තත්ත්වයකට වැටීමට සිදුවුවත් ඉන්දියන් සාගර කලාපයේ විශාල සමාජ හා ආර්ථික කර්තව්‍යයක් ඉටුකරන ශ්‍රී ලංකාව තුළින් ඉදිරියටත් එය අපේක්ෂා කරන බව මහලේකම්වරයා සඳහන් කර තිබෙනවා.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා සමග සාකච්ඡා කිරීමට අවස්ථාව ලැබීම සතුටට කරුණක් බව පැවසූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, ලෝකය මුහුණ දී සිටින ඉතා අසීරු කාල පරිච්ඡේදයක එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙහෙයවීම පිළිබඳව සහ දෙවන වරටත් මහලේකම් ධුරයට පත්වීම පිළිබඳව සිය සුභාශීංසන ඔහු වෙත පිරිනැමීය.
කුඩා ආර්ථිකයක් ඇති ශ්‍රී ලංකාව වැනි රටක් කොවිඩ් වසංගතය හමුවේ මුහුණ දෙන අභියෝග පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා දැනුවත් කර සිටියා. කොවිඩ් වසංගතය හමුවේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට සහ ආර්ථිකයට එල්ල වී ඇති දැඩි බලපෑම පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු ගෙනහැර දැක්වූ ජනාධිපතිවරයා ලෝක සෞඛ්‍ය සංවිධානය වසංගතයට සාර්ථකව මුහුණදීමට දෙන සහාය ඇගැයීමට ලක් කර සිටියා.
මේ වනවිට සමස්ත ජනගහණයෙන් අඩකට වැඩි පිරිස පූර්ණ එන්නත්කරණයට ලක් කර ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, නොවැම්බර් මස අවසන්වීමට පෙර වයස අවුරුදු 15ට වැඩි සියලු දෙනා පූර්ණ එන්නත්කරණයට භාජනය කිරිමට සියලු කටයුතු සැලසුම් කර ඇතැයි සංඛ්‍යාලේඛන සහිතව පෙන්වා දෙනු ලැබුවා.
එන්නත්කරණයේදී ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති ප්‍රගතිය මෙහිදී මහලේකම්වරයාගේ ප්‍රශංසාවට ලක් විය.
2019 වසරේ දී ජනාධිපති ධූරයට පත්වූ තමන් ජනතාවට දුන් පොරොන්දු ඒ අයුරින්ම ඉටු කිරීමට කොවිඩ් වසංගතය විශාල බාධාවක් වූ බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නා. එම තත්ත්වය හමුවේ වුවද වසර 30 කට අධික කාලයක් පැවති ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසු ඇති වූ අතුරු ප්‍රතිඵල විසඳා ගැනීමට ගත් පියවර පිළිබඳවද සවිස්තරාත්මකව පැහැදිළි කර සිටියා.
වින්දිතයින්ට වන්දි ගෙවීම, ඉඩම් නැවත පවරාදීම හා 2009 වසරේදී මහින්ද රාජපක්ෂ මහතාගේ මගපෙන්වීම යටතේ උතුරු නැගෙනහිර පළාතේ කළ විශාල සංවර්ධනය හා උතුරු පළාත් සභාව සඳහා ප්‍රජාතන්ත්‍රවාදීව නියෝජිතයන් තෝරා ගැනීමට අවස්ථාව හිමිකරදීම පිළිබඳව ජනාධිපතිවරයා කරුණු පැහැදිළි කරනු ලැබුවා. අතුරුදන් වූ පුද්ගලයන් පිළිබඳව රජය විසින් ගතයුතු පියවරයන් හැකි ඉක්මණින් ගන්නා බව හා මරණ සහතික නිකුත් කිරීම වැනි කටයුතු කඩිනම් කරන බව රාජපක්ෂ මහතා මහලේකම්වරයා සමග ප්‍රකාශ කර සිටියා.
ත්‍රස්තවාදී ක්‍රියාවන්ට සම්බන්ධ සැකකරුවන් ලෙස අත්අඩංගුවට ගෙන සිටි බොහෝ තරුණයින් තමා බලයට පැමිණි පසු නිදහස් කළ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, නිදහස් කළ නොහැකි සෙසු පිරිස සම්බන්ධයෙන් නීතිමය කටයුතු කඩිනම් කරන බවත් දිගුකලක් අත්අඩංගුවේ පසුවන ද්‍රවිඩ තරුණයන් පිළිබඳව නීති කෘත්‍ය අවසන් වූ පසු දීර්ඝ කාලයක් ඔවුන් අත්අඩංගුවේ සිටීම පිළිබඳ සැලකිල්ලට ගෙන එම පිරිසට ජනාධිපති සමාව ලබාදීමට තමා නොපැකිළෙන බවත් මහලේකම්වරයා සමග පවසා සිටියා.
ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත්ව ස්ථාපනය කිරීම තම අරමුණ බවත්, ඒ අනුව උද්ඝෝෂණ ආදියට, පෙරදී මෙන් බැටන් ප්‍රහාර, ජල ප්‍රහාර එල්ල කිරීම වැනි දේ තම රජය යටතේ සිදු නොවන බවත්, උද්ඝෝෂකයන් සඳහාම තම කාර්යාලය අසළ වෙනම ස්ථානයක් වෙන් කර දුන් බවත් ජනාධිපතිවරයා පැවසීය. රටේ දියුණුව හා සංහිඳියාව ඇති කිරීමට සිවිල් සංවිධාන සමග එක්ව කටයුතු කරන ආකාරයද ජනාධිපතිතුමා විසින් පැහැදිළි කරනු ලැබුවා.
ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ගැටලු රටේ අභ්‍යන්තර යාන්ත්‍රණයක් ඔස්සේ විසඳාගත යුතු බවත්, ඒ සඳහා ද්‍රවිඩ ඩයස්පෝරාවට සාකච්ඡා සඳහා ඇරයුම් කරන බවත් ජනාධිපතිතුමා ප්‍රකාශ කර සිටියා.
එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග සැමවිටම ඉතා සමීපව කටයුතු කිරීමට සූදානම් බව සඳහන් කළ ජනාධිපතිතුමා නැවත වරක් බෙදුම්වාදයක් ශ්‍රි ලංකාවේ ඇති නොවන බවට තමාට සහතික විය හැකි වුවත්, ආගමික අන්තවාදය පිළිබඳව රජයක් ලෙස ශ්‍රී ලංකාව සේම සෙසු රාජ්‍යයන්ද සුපරීක්ෂාකාරී විය යුතු බව සඳහන් කළේය.
(LNW)