කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් රජයේ ආදායම් විශාල ප්‍රමාණයකින් පහත වැටී තිබෙනවා. මේ නිසා රාජ්‍ය ආයතන නඩත්තු කිරීමද අසීරු වී තිබේ.
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් අමාත්‍යංශවල හා රාජ්‍ය ආයතනවල වියදම් අඩු කිරීම පිළිබඳව කැබිනට් සංදේශයක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ හරහා මුදල් ඇමතිවරයා යෝජනා 08 ක් ඉදිරිපත් කරයි.
රජයේ නිළධාරීන්ගේ ඉන්ධන දීමනා, දුරකතන දීමනා ඇතුළු දීමනා කප්පාදු කිරීමට අදාල යෝජනාද මේ අතර වේ.
- නියමිත අනුමැතීන් යටතේ ප්‍රතිපාදන වෙන්වී තිබුණද දැනට ආරම්භ කර නොමැති වැඩසටහන්, මිලදී ගැනීම්, ඉදිකිරීම්, ගොඩනැගිලි නවීකරණය හා වැඩිදියුණු කිරීම ආදිය තාවකාලිකව අත්හිටුවීමට.
- සේවක බඳවා ගැනීම සඳහා මූලික කටයුතු සිදුකර තිබුණද මෙතෙක් පත්වීම් කර නොමැති තනතුරු සඳහා බඳවා ගැනීම් කල් තැබීමට;
- සුබසාධන වැඩසටහන් යටතේ ප්‍රතිලාභී ලේඛන සමාලෝචනයට ලක්කර අත්‍යාවශ්‍යෙයන්ම ප්‍රතිලාභ ලබාදිය යුතු අඩු ආදායම්ලාභීන්ට පමණක් සීමා කිරීමට.
- එමෙන්ම අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර නොමැති කිසිඳු දීමනාවක්, සුබසාධන වැඩසටහන්, සංවර්ධන සහයන් හෝ සහනාධාර ලබාදීම නතර කිරීමට.
- අමාත්‍යංශ ලේකම්වරුන්ගේ, දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ අනුමැතීන් යටතේ ගෙවනු ලබන වැටුප් නොවන දීමනා, බිල්පත් ප්‍රතිපූර්ණය කිරීම යනාදිය පොදුවේ සියලු නිලධාරීන්ට ලබාදීම වෙනුවට සත්‍ය වශයෙන් කාර්යයේ නියැලෙන නිලධාරීන්ට පමණක් සීමා කිරීමට.
- මූලධන සංවර්ධන වැඩසටහන් යටතේ වෙන් කර ඇති ප්‍රතිපාදන භාවිතයෙන් සිදුකරනු ලබන විවිධ ද්‍රව්‍ය, භාණ්ඩ හා උපකරණ සහ මූල්‍ය ප්‍රදාන ලෙස දෙනු ලබන ආධාර බෙදාදීම අත්හිටුවීමට.
- අමාත්‍යංශවල සුවිශේෂ ප්‍රමුඛතාවලට සෘජුව අදාළ නොවන සියලුම ආකාරයේ වැඩසටහන් සඳහා වියදම් දැරීම වහාම අත්හිටුවීමට.
- නිලධාරින් සේවයට කැඳවන අවස්ථාවේදි නිලධාරීන්ගේ පැමිණිම පදනම් කරගත් ඉන්ධන දීමනා වැනි දීමනා සේවයට වාර්තා කරනු ලබන දිනවලදී පමණක් ලබා දීමට.
මුදල් ඇමතිවරයා යෝජනා කරයි.
ඉදිරි සතිය තුළදී මෙම යෝජනා ඇතුළත් චක්‍රලේඛය නිකුත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
(LNW)