Saturday, February 21, 2026
Follow Us
මෙරට අවුරුදු 18 ට වැඩි සියලු දෙනාට අවශ්‍ය එන්නත් ගෙන්වා අවසන් - පමාවූ ස්පුට්නික් එන්නත් කිරීම අද සිට

මෙරට වයස අවුරුදු 18 ට වැඩි ජනගහනය වන මිලියන 15 යි දශම 6 යි 7 සඳහා අවශ්‍ය කොරෝනා මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාදීම සඳහා අවශ්‍ය එන්නත් තොග මේවනවිට ශ්‍රී ලංකාවට ලැබී ඇතැයි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව පවසනවා.

එහි සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන සඳහන් කළේ මේවනවිට මිලියන 32 කට වැඩි එන්නත් මාත්‍රා තොගයක් ශ්‍රී ලංකාවට රැගෙනවිත් ඇති බවයි.

මේ අතර කොරෝනා මර්දන එන්නත් මිලදී ගැනීමේ කටයුතු විනිවිදභාවයකින් සිදුවන බව ද රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සඳහන් කළා.

මේ අතර තවත් “ෆයිසර්” එන්නත් මාත්‍රා 73, 000 ක් අද අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන ආවා.

ඒ, කටාර් රාජ්‍යයේ දෝහා සිට පැමිණි ගුවන් යානයකින්. එලෙස රැගෙන ආ එන්නත් මාත්‍රා තොගය, ගුවන් යානයෙන් ගොඩ බෑමෙන් පසුව, ගුවන් තොටුපළ ගුවන් භාණ්ඩ ගම්මානයේ ශීතකරණ තුළ තැන්පත් කර තිබෙනවා.

අනතුරුව එම එන්නත් තොගය ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ ශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මගින්, කොළඹ පිහිටි මධ්‍යම ගබඩා සංකීර්ණය වෙත රැගෙන යාමට පියවර ගෙන ඇති බවයි නෙත් නිවුස් ගුවන් තොටුපළ වාර්තාකරු පැවසුවේ.

මේ අතර ස්පුට්නික් එන්නතේ දෙවන මාත්‍රාව මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාවට ලබාදීම අද සිට ආරම්භ කෙරෙනවා.

ඒස ඳහා අවශ්‍ය එන්නත් මාත්‍රා එක් ලක්ෂ 20,000 ක් ඊයේ දිවයිනට රැගෙන ආවා. ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාව මෙරට පුද්ගලයින් එක්ලක්ෂ 59, 089 දෙනෙකු සඳහා ලබාදී ඇති අතර එහි දෙවන මාත්‍රාව ලබා දී ඇත්තේ ඉන් පුද්ගලයින් 43,453 දෙනෙකුට පමණයි.

ඒ අනුව ඉතිරි පිරිසට අවශ්‍ය ස්පුට්නික් එන්නතේ දෙවන මාත්‍රාව අද සිට ලබාදෙන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ.

(Neth)