Saturday, February 21, 2026
Follow Us
බාර් අරින්න අවසර දුන්නේ රජය තමයි. දෙයි හාමුදුරුවනේ සල්ලි නෑ කිව්වාට බලන්න එපෑ පෝලිම් ! - රෝහිත

මත්පැන් අලෙවිසල් විවෘත කිරීම සඳහා අවසර ලබාදුන්නේ රජය විසින් බවත් එසේ කළේ මේ වනවිට ගම්මාන තුළ පැතිර යන නීත්‍යානුකූල නොවන මත්පැන් ජාවාරම්වලින් ජනතාව බේරාගැනීම සඳහා බවත් අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

"ඔව් ඉතිං රජයෙන් අවසරයක් නොදී බාර් අරින්න බැහැනෙ. රජයෙන් අවසරයක් දුන්නාම තමයි ඒ මත්පැන්හල් විවෘත කරලා තියෙන්නෙ. ලියාපදිංචි තැන් විවෘත කිරීමක් කරලා තියෙන්නෙ. දැන් ගම්වල හැමතැනකම නොයෙකුත් නීත්‍යානුකූල නොවෙන මත්ද්‍රව්‍ය එන්න එන්නම වැඩිවෙලා තියෙනවා. එතකොට මේක එච්චර සුබවාදී වැඩක් නෙවෙයි. මිනිස්සු මේවා බීලා ඉතාමත්ම රෝගීන් බවට පත්වෙනවා. ඉතිං ලොකූ ප්‍රශ්නයක්.

දෙයිහාමුදුරුවනේ සල්ලි නෑ, සල්ලි නෑ කිව්වාට බලන්න එපැයි බාර් ගාවට ගියාම ! දැන් අපෙන් කියනවා රුපියල් 2000ක් දෙන්න කියනවා කන්න නෑ කියලා 5000ක් දෙන්න කියනවා. බාර් ටික ඇරලා තියපුවාම මගෙ අම්මේ ඊයෙ කිලෝමීටර් එකහමාරක් විතර තිබුණා පෝළිම"

අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා මේ බව පැවසුවේ ඊයේ (18) කළුතර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

සෞඛ්‍ය අමාත්‍යාංශය සහ සුරාබදු දෙපාර්තමේන්තුව ඊට පෙර ප්‍රකාශ කර තිබුණේ මත්පැන් අලෙවිසල් විවෘත කිරීම සඳහා තමන් අවසරයක් ලබා නොදුන් බවකි.

(LNW)