Saturday, February 21, 2026
Follow Us
බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ඉවත් කිරීමට මත්ද්‍රව්‍ය ජාවාරම්වලට ගෑවුණු නිලධාරීන් පිරිසක් රහස් සාකච්ඡාවක

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා එම තනතුරෙන් ඉවත් කිරීම සදහා කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකවෙමින් ඇති බව නෙත් නිවුස් වෙත වාර්තා වුණා.

වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාරවල ඉකුත්දා සිදුවූ බව කියන සිද්ධීන්වලින් පසුව බන්ධනාගාර නිලධාරීන් පිරිසක් රහස් සාකච්ඡාවක් ද පවත්වා ඇති බවයි වාර්තා වුණේ.

බන්ධනාගාර තුළ විනය විරෝධී ක්‍රියාවන් සිදුකළ නිලධාරීන්ට එරෙහිව බන්ධනාගාර දෙපාර්තමේන්තුව ඉකුත් සමයේ කටයුතු කරනු ලැබුවා.

ඒ අතර සිටින ඉහළ නිලධාරීන් කිහිප දෙනෙකු ඇතුළු පිරිසක් මෙලෙස රහස් සාකච්ඡාව සිදුකර ඇති බවයි වාර්තා වන්නේ. බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට එරෙහිව සමාජ මාධ්‍ය හරහා අසත්‍ය ප්‍රචාර දියත් කිරීමට එම සාකච්ඡාවේදී ඔවුන් අවධානය යොමුකර තිබෙන බව සදහන්.

ඒ සදහා අවශ්‍ය මුදල් ඔවුන්ට හිතවත් බන්ධනාගාරගත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසකගේ ලබාගැනීමටද අවධානය යොමු කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.

මේ අතර බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනුරුත්ථාපන හිටපු රාජ්‍ය අමාත්‍යවරයා සම්බන්ධයෙන් පොලිසිය සිදුකරන පරීක්ෂනවලට දේශපාලන බලපෑම් එල්ලවුවහොත් ඊට තමන් මැදිහත්වන බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර පවසනවා.

එම පරීක්ෂණවලට තමන් කිසිසේත් බලපෑම් එල්ල නොකරන බවයි අමාත්‍යවරයා නෙත් නිවුස් කළ විමසීමකදී සඳහන් කළේ.

බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනුරුත්ථාපන හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ බීමත්ව වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාරවලට ගොස් රැදවියන්ට තර්ජනය කළ බවට මාධ්‍ය වාර්තා පළ වුණා.

ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලකට අනුව කඩිනමින් පරීක්ෂණ සිදු කරන්නැයි මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර පොලිස්පතිවරයාටද නියෝග කර තිබුණා.

(Neth)