Saturday, February 21, 2026
Follow Us
මත්පැන් විකුණන්න සුරාබදු බලධාරීන් අලුත් ක්‍රමයක් ඉල්ලයි

මත්පැන් අලෙවි කිරීමට නොහැකි වීම හරහා රට වසා දමා ඇති සමයේ මසකට රුපියල් කෝටි 1,500 ක පමණ පාඩුවක් සිදු වූ බව සුරාබදු දොපාර්තමේන්තුව පවසනවා. සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ.ගුණසිරි පැවසුවේ මෙම සමයේ සාමාන්‍ය මත්පැන් බෝතලයක මිල රුපියල් 4000ක් තරම් වන මිලකට ඉහල ගොස් ඇති බවට වාර්තා වන බවයි.

ඒ අනුව සංචරණ සීමා හෝ ඇදිරි නීතිය පැනවීමක් හෝ සිදුව ඇති කාල සීමාවක මත්පැන් අලෙවිය සිදු කිරීම සදහා වෙනත් විකල්ප ක්‍රමයක් අවශ්‍ය බව සුරාබදු දොපාර්තමේන්තුවේ අදහසයි. සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ.ගුණසිරි පැවසුවේ ඔන්ලයින් ක්‍රමය ඔස්සේ හෝ මත්පැන් අලෙවි කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සුදුසු වන බවයි.

සෙසු භාණ්ඩවල මිල ඉහළ ගොස් ඇති පසුබිමක මත්පැන් මිල ඉහළ දමනු ඇත්දැයි නෙත් නිවුස් මෙහිදී ප්‍රශ්ණ කළා.

අවසර ලබා දීමක් සිදු කර නොමැති වුවද දිවයිනේ ඇතැම් ප්‍රදේශ වල මත්පැන් අලෙවි සැල් ඊයේ පස්වරුවේ සිටම විවෘතව තිබෙනු දැකගත හැකි වුණා. ඒ, නිරෝධායන ඇදිරි නීතිය ද නොතකමින්.

විවෘත කර තිබූ මත්පැන් අලෙවිසැල් අසල ඊයේ රාත්‍රිය වන තුරුම දිගු පෝලිම් දක්නට ලැබුණා. කොළඹ, හැටන්, මාතර, මාතලේ, කන්තලේ, ගම්පහ, වව්නියාව සහ අනුරාධපුර ඇතුලු ප්‍රදේශ රැසක මෙම තත්ත්වය දක්නට ලැබුණා.

මෙම තත්ත්වය සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමට නෙත් නිවුස් අමාත්‍යවරුන් කිහිපදෙනෙකු මෙන්ම පොලීසියේ සහ සුරාබදු දෙපාර්තමේන්තුවේද බලධාරීන් සම්බන්ධ කරගත්තා. එහෙත් ඔවුන් කිසිවෙකුත් මේ සම්බන්ධයෙන් ස්ථිර ප්‍රකාශයක් සිදු කලේ නැහැ.

(Neth)