Saturday, February 21, 2026
Follow Us
විදෙස් රටවල සිටි පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ගේ හෝටල් නිරෝධායනය නවතී

විදේශගතව සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයින් හෝටල් නිරෝධායනයට යොමු කිරීම නතර කර තිබෙනවා. ඒ අනුව එලෙස පැමිණෙන ශ්‍රී ලාංකිකයින් කටුනායක ගුවන්තොටුපළ පරිශ්‍රයේදී පී.සී.ආර්. පරීක්ෂණයට යොමු කර එම ප්‍රතිඵල අනුව පැය කිහිපයක් තුළ ඔවුන්ව කඩිනමින් නිවෙස් කරා යොමු කිරීමටයි තීරණය කර ඇත්තේ.

එහිදී කටුනායක ගුවන්තොටුපළෙහි ස්ථාපිත කර ඇති රසායනාගාරය හරහා පී.සී.ආර්. පරීක්ෂණ කඩිනමින් සිදු කර හෝටල් නිරෝධායනයකින් තොරව ඔවුන්ව නිවෙස් කරා යැවීම සිදුකරනු ඇති. මෙම තීරණය ගෙන ඇත්තේ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ලගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදීයි.

ඉදිරි සති දෙක තුළදී මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන අතර ඒ අනුව ගුවන්තොටුපළ පරිශ්‍රයේ ස්ථාපිත කර ඇති රසායනාගාරයේ පහසුකම් ඉහළ නැංවීමටද නියමිතයි. ඒ අනුව එන්නත් දෙකම ලබා ගෙන ඇත්නම්, පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රතිඵල වලින්ද ආසාදිතයෙකු නොවන්නේ නම් ඔවුන්ට කඩිනමින් නිවෙස් කරා යාමට හැකි වන අතර මෙමගින් අනවශ්‍ය ලෙස කාලය හා මුදල් වැය වීමක් සිදු නොවේ.

පැය තුනක පමණ කාලයක් තුළ පී.සී.ආර්. පරීක්ෂණ වාර්තා ලබාදීමට නියමිතයි. එම කාලය තුළ පුද්ගලයින් 600 ක් පමණ පරීක්ෂණයන්ට ලක් කිරීමටද අපේක්‍ෂිතයි.

(Neth)