Saturday, February 21, 2026
Follow Us
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ඉබ්‍රාහිම්ගේ පවුලට අයත් තඹ කර්මාන්ත ශාලාව පවරා ගන්නවා - ඇමති විමල් වීරවංශ

රාජසන්තක කර ඇති "පාස්කු ඉරිදා අමානුෂික ක්‍රියාදාමයට" සම්බන්ධ වූ 'ඉබ්‍රාහිම් පවුලට' අයත් තඹ කම්හල, අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් මගින් ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය යටතට ගෙන එමඟින් මෙරට තඹ ආශ්‍රිත කර්මාන්තයන්ට අවශ්‍ය නිෂ්පාදන සපයා දෙන ස්ථානයක් බවට පත් කිරීමට පියවර ගන්නේ යැයි කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ පවසනවා,

වැල්ලම්පිටියේ පිහිටි එම තඹ කම්හල් පරිශ්‍රයෙහි ඊයේ සවස නිරීක්ෂණ චාරිකාවක යෙදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා එසේ ප්‍රකාශ කර සිටියා.

"පසුගිය මැයි මාසයේ 20 වැනිදා රජය විසින් රාජසන්තක කළ මෙම ස්ථානය අපි කවුරුත් දන්නවා මීට පෙර ඒ පාස්කු ඉරිදා අමානුෂික ක්‍රියාදාමයට සම්බන්ධ වූ ඉබ්‍රාහිම් පවුලට අයත් දේපළක්. එය දැනට රහස් පොලිසිය භාරයේයි පවතින්නේ. අමාත්‍ය මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කරලා අපි බලාපොරොත්තු වෙනවා මෙම තඹ කර්මාන්ත ශාලාව පවත්වාගෙන යන කොටස කාර්මික සංවර්ධන මණ්ඩලය යටතට ගැනීමට. මෙහි සියලු යන්ත්‍ර සූත්‍ර තිබෙන්නේ තඹ ආශ්‍රිත නිෂ්පාදන සිදුකිරීමටයි. මෙම යන්ත්‍රසූත්‍ර දිරාපත් වීමට ඉඩ නොදී රටට ප්‍රයෝජනයක් ගත යුතුයි.

එමගින් මෙරට තඹ ආශ්‍රිත කර්මාන්තයන්ට අවශ්‍ය කරන නිෂ්පාදන සපයා දෙන ස්ථානයක් බවට මෙම ස්ථානය පත් කිරීමට අපට හැකි වේවි. ඒ පිළිබඳ අවසන් තීරණයක් ගැනීමට තමයි මෙම ස්ථානය නිරීක්ෂණයට අපි පැමිණියේ." අමාත්‍ය විමල් විරවංශ කියා සිටියා.

(Neth)