මේ වනවිට මන්නාරම් ද්‍රෝණියෙන් පමණක් ඇමරිකානු ඩොලර් බිලියන 267ක් වටිනා බොරතෙල් සහ ගෑස් නිධි හඳුනාගෙන ඇති බවත් ලබන මාසයේදී ඛනිජ තෙල් සංවර්ධන පනත පාර්ලිමේන්තුවේ සම්මත කරගත් වහාම මෙම තෙල් සහ ගෑස් උකහා ගැනීම සඳහා විදේශ ආයෝජකයින්ට ආරාධනා කරන බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.
"ලබන මාසයේ ඛනිජ තෙල් සංවර්ධන පනත පාර්ලිමේන්තුවේ සම්මත කරගැනීමට අපි බලාපොරොත්තු වෙනවා. පනත සම්මත කරගැනීමෙන් පසු ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය පිහිටුවලා එය කළ වහාම ශ්‍රී ලංකාවේ තෙල් ගවේෂණයට සහ උකහා ගැනීම සඳහා විදේශීය ආයෝජකයින්ට ආරාධනා කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.
ලෝකයේ කීර්තිමත් භූ භෞතික සමාගමක් වන එක්සත් රාජධානියේ බෙල් ජියෝ ස්පේස් ආයතනය ගුවන්යානයක් යොදාගෙන කරන්නේ මේ ආයෝජකයින්ට ලබාදීමට අපට අවශ්‍ය කරන තොරතුරු ටික එක් රැස් කිරීමයි. එතනදී අපට කිසිම මුදලක් මේ සමීක්ෂණය සඳහා වැයවෙන්නෙ නෑ. සමස්ත වියදමම දරන්නේ බෙල් ජියෝ ස්පේස් සමාගම. හැබැයි ඔවුන් සොයාගන්නා දත්ත, තොරතුරුවල අයිතිය තියෙන්නෙ ශ්‍රී ලංකා ආණ්ඩුවට. ඒ නිසා අනාගතයේ එන ආයෝකයන්ට අවශ්‍ය තොරතුරු මේ සමාගම විසින් විකුණලා ලැබෙන ලාභය ශ්‍රී ලංකා ආණ්ඩුවත් සමග හවුලේ බෙදාගන්නවා.
මේ අඳුනාගෙන තියෙනවා අපි දැනට මන්නාරම් ද්‍රෝණියේ පමණක් බොරතෙල් බැරල් බිලියන දෙකක්. ඒ කියන්නෙ බැරල් මිලියන 2000ක්. අපි ඩොලර් 75යි බැරල් එකක් කියලා ගණන් හැදුවොත් එතකොට ඩොලර් බිලියන 150ක් වටිනවා තෙල් නිධි ටික. තව ගෑස් තියෙනවා ඝන අඩි ට්‍රිලියන 9ක්. මිලියන 1000ක් බිලියන එකයි, බිලියන 1000ක් ට්‍රිලියන එකයි. ට්‍රිලියන 9ක්. එක ඝන අඩියක් ශත 13යි කියලා ගත්තොත් LNG නැත්නම් ස්වාභාවික වායු අපට තියෙනවා ඩොලර් බිලියන 117ක් වටින. මේ දෙක එකතු කළාම ඩොලර් බිලියන 267 යි.
අපි ඉතාම අඩුවෙන් ගණන් හදලා, ආයෝජකයාට 50%ක්ම යනවා 50%යි අපට හම්බෙන්නෙ කියලා අපි ගණන් හැදුවාම අපට ඩොලර් බිලියන 133.5ක් තෙල් සහ ගෑස් විකිණීමෙන් ආණ්ඩුවට උපයා ගන්න පුළුවන්. ඔබ දන්නවා ආණ්ඩුව සහ ආණ්ඩුවේ සියලුම ආයතන එක්ව ගත්තොත් විදේශ ණය තියෙන්නෙ ඩොලර් බිලියන 47 යි. හැබැයි ඒ වගේ තුන් ගුණයක් විතර ආදායමක් මන්නාරම් ද්‍රෝණියේ තෙල් සහ ගෑස් විකිණීමෙන් පමණක් අපට ලබාගන්න හැකියාව තියෙනවා. අපේ තියෙනවා මන්නාරමේ M2 කියන කොටසේ දැනට ළිං හාරලා ගෑස් සහ තෙල් තියෙන බවට හඳුනාගෙන තියෙනවා. එනිසා M2 කියන කොටස අපි ප්‍රසිද්ධ වෙන්දේසියේ වෙන්දේසි කරන්න බලාපොරොත්තු වෙනවා"
අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මේ බව පැවසුවේ ඊයේ (15) අදාළ තෙල් ගවේෂණයේ යෙදෙන එක්සත් රාජධානියේ සමාගමට අයත් ගුවන් යානය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මාධ්‍ය හමුවක් පවත්වමිනි.
(LNW)