Saturday, February 21, 2026
Follow Us
මහබැංකුව කරන්න ඕනෙ ආනයන සීමා පැනවීම නෙවෙයි සීමා ලිහිල් කිරීම - පී.බී. ජයසුන්දර

ආනයන සීමා කිරීම ආර්ථික අර්බුදයට විසඳුමක් නොවන බව ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා පවසනවා. ආනයනය කරන ඇතැම් කොටස් අපනයනය සඳහාද යොදා ගන්නා බැවින් ආනයන සීමා කිරීමේදී අපනයන කටයුතුවලට බලපෑම් සිදු නොවිය යුතු බවයි ජනාධිපති ලේකම්වරයා පවසන්නේ.

තොරතුරු තාක්ෂණ ආර්ථිකයක් නිර්මාණය කරන්නේ නම් ඊට අදාල සියලු ආනයනවලට ඉඩ ලබාදිය යුතු බවත්, ආනයන සීමා සිදු කිරීම හරහා එම ක්ෂේත්‍රය කඩා වැටෙන බවත් ජයසුන්දර මහතා පවසනවා. මෙම වසරේදී තොරතුරු තාක්ෂණ අපනයන අපේක්ෂිත ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 1.7 ක් බව පෙන්වා දෙන ජයසුන්දර මහතා පවසන්නේ ඉදිරි වසර කිහිපය තුළ එම ආදායම බිලියන 04 දක්වා වැඩිකළ යුතු බවයි. ආනයන සීමා පැනවීම හරහා තොරතුරු තාක්ෂණ අපනයන ආදායම බිඳවැටිය හැකි බවද ඔහු පෙන්වා දෙනවා.

මහබැංකුවේ මුදල් මණ්ඩලය සහ නිළධාරීන් සිදුකළ යුත්තේ ආනයන සීමා පැනවීම නොව හැකිතරම් සීමා ලිහිල් කිරීම බවයි ජනාධිපති ලේකම්වරයා පවසන්නේ. අපේ ප්‍රතිපත්ති රාමුවට හානියක් සිදු නොවන පරිදි ආනයන සීමා හැකිතරම් ඉවත් කිරීම හරහා අපනයන ආදායම ඉහළ දැමිය හැකි බවද ඔහු පවසනවා.

ආනයන සීමා පැනවිය යුතු ක්ෂේත්‍ර කිහිපයක් පමණක් තිබෙන බවත්, ඉන් එකක් වන්නේ ඉන්ධන ආනයනය බවත් ජයසුන්දර මහතා පවසනවා. වසරකට ඇමරිකානු ඩොලර් මිලියන 5000 ක් ඉන්ධන ආනයනය වෙනුවෙන් වියදම් කරන රටකට පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති වෙනුවෙන් එම මුදල් වැයකළ නොහැක්කේ මන්දැයි ඔහු විමසා සිටිනවා. මිල ප්‍රතිපත්තියක් භාවිතා කර හෝ ඉන්ධන ආනයනය සීමා කර ඉතිරි වන මුදල් පුනර්ජණනීය බලශක්ති ව්‍යාපෘතිය සඳහා වැය කිරීමේ වැදගත්කමද ඔහු අවධාරණය කරනවා.

මේ සම්බන්ධයෙන් කරුණු ඇතුළත් යෝජනාවක් මහබැංකුව වෙත යොමුකළ බවත්, ඊට යහපත් ප්‍රතිචාර දක්වනු ඇතැයි බලාපොරොත්තු වන බවත් ජනාධිපති ලේකම්වරයා පවසනවා.

(මූලාශ්‍ර - දිවයින)