Saturday, February 21, 2026
Follow Us
කුවේටයට යන ශ්‍රී ලාංකිකයින්ට තෙවන මාත්‍රාවක්

කුවේටයේ රැකියා සදහා යාමට අපේක්ෂාවෙන් සිටින සයිනොෆාම් එන්නත ලබා ගත් මෙරට ශ්‍රමිකයන් සදහා තෙවන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාදීමට ඉදිරියේදී පියවර ගන්නා බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසනවා.

කුවේට් රජය එරට තුළ අනුමත කර ඇත්තේ ෆයිසර්, කොවිෂීල්ඩ් මොඩර්නා සහ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් යන එන්නත් පමණයි. ඒ අනුව කුවේටයේ රැකියා බලා පිටත්ව යාමට සූදානමින් සිටින සයිනොෆාම් එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයින්ට ෆයිසර් එන්නත 3වන මාත්‍රාව ලෙස ලබාදීමට අවධානය යොමුව තිබෙනවා.

මේ ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ විදේශ සේවා නියුක්ති කාර්යංශයේ අතිරේක සාමාන්‍යාධිකාරී, ජාත්‍යන්තර කටයුතු සහ මාධ්‍ය ප්‍රකාශක මංගල රන්දෙණිය.

විදෙස් රැකියා සදහා පිටත්ව යන පුද්ගලයින් ලබාදී ඇති නියමිත සෞඛ්‍ය ක්‍රමවේද අනුව මේ මොහොතේ කටයුතු කිරීම අතිශය වැදගත් බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

කොරෝනා මර්දන එන්නතේ දෙවන මාත්‍රාව ලබාගෙන දින 14 කින් පසුව පමණක් විදෙස් රැකියා සදහා යන පුද්ගලයින් දිවයිනෙන් පිටත් විය යුතු බවද විදේශ සේවා නියුක්ති කාර්යංශයේ අතිරේක සාමාන්‍යාධිකාරී, ජාත්‍යන්තර කටයුතු සහ මාධ්‍ය ප්‍රකාශක මංගල රන්දෙණිය. වැඩිදුරටත් සදහන් කළා.

මේ අතර ශ්‍රී ලංකාව මිළදී ගත් තවත් ෆයිසර් එන්නත් මාත්‍රා 76,000 ක් අද අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන ආවා. ඒ. කටාර් ගුවන් සේවයට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින්.

මේ අතර ශ්‍රී ලංකාව මිළදී ගත් තවත් “ස්පුට්නික් ෆයිව්” එන්නත් මාත්‍රා එක්ලක්ෂ 20,000 ක් සහ “ සයිනොෆාම් ” එන්නත් මාත්‍රා ලක්ෂ 40 ක්ද මෙම සතිය තුළ මෙරටට ලැබීමට නියමිත බවයි ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරී දිනූෂ දසනායක පැවසුවේ.

(Neth)