Saturday, February 21, 2026
Follow Us
ආනයන කොන්දේසි දාන්න වුණේ යහපාලනයේ වැරදි නිසා. මෙයින් මිල වැඩිවීමක් හෝ භාණ්ඩ හිඟවීමක් නෑ - බන්ධුල

භාණ්ඩ වර්ග 613ක් සඳහා ආනයනය සඳහා ණයවර ලිපි නිකුත් කිරීමේදී 100%ක ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාවයක් පැනවීමට ශ්‍රී ලංකා මහබැංකුව ගත් පියවර ඔස්සේ අදාළ භාණ්ඩ හිඟයක් හෝ භාණ්ඩවල මිල වැඩිවීමක් සිදු නොවන බව වෙළඳ අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා පවසයි.

"මේ රටේ ඉතිහාසය තුළ පසුගිය රජයේ වැරදි විදේශ විනිමය කළමනාකරණ ප්‍රතිපත්තියත් පාස්කු ප්‍රහාරයත් කොවිඩ් - 19 වසංගතයත් යන හේතූන්ගේ සමුච්ඡිත ප්‍රතිඵලයක් වශයෙන් ඉතාම දැවැන්ත විදේශ විනිමය අර්බුදයකට රට මුහුණ දීලා තිබෙනවා. එසේ මුහුණ දීලා තිබෙන අවස්ථාවේදී ශ්‍රී ලංකා මහබැංකුවේ මුදල් මණ්ඩලය විසින් ණය පාලනය කිරීම සඳහා වන උපකරණයක් භාවිතා කරලා තියෙනවා ණයවර ලිපි ආන්තිකය ඉහළ නැංවීමෙන්.

එය අර්ථ දක්වන්න උත්සාහ කරනවා මේ භාණ්ඩ වර්ග 613 ගත්තොත් වායු සමීකරණ, විදුලි පංකා, ශීතකරණ, අධිශීතකරණ, මේ කිසිම භාණ්ඩයක් ලංකාවට ආනයනය කිරීම තහනම් කරලා නෑ. ඒ කිසිම භාණ්ඩයක් සඳහා අයකරන බදු ප්‍රතිශතය වැඩි කරලාත් නෑ. එනිසා ඒ භාණ්ඩවල මිල ඉහළ යාමට හෝ ඒ භාණ්ඩ ආනයනය කරන්න අපහසු වීමේ තත්වයක් ඇතිවෙලා නෑ. රුපියලේ අගය ආරක්ෂා කරගැනීමට අදාළ ක්‍රියාමාර්ගයක් ලෙස තමයි ශ්‍රී ලංකා මහබැංකුව මේ දූරදර්ශී පියවර අරන් තිබෙන්නෙ"

බන්ධුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ ඊයේ (10) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

අමාත්‍යවරයා එසේ පැවසුවත් ශ්‍රී ලංකා මහබැංකුවම පවසන පරිදි මෙම පියවර ගෙන ඇත්තේ විදේශ විනිමය අර්බුදයට පිළියමක් වශයෙන් අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය අධෛර්යමත් කිරීම අරමුණු කොටගෙනය. ඒ අනුව සුළු හා මධ්‍යම පරිමාණ ආනයනකරුවන්ට මෙම කොන්දේසිය සම්පූර්ණ කිරීමට අපහසු තත්වයක් අනිවාර්යයෙන්ම උද්ගත වේ.

(LNW)