Saturday, February 21, 2026
Follow Us
සෞඛ්‍ය අංශ කියනවා නම් පාසල් විවෘත කරන්න සූදානම් - අධ්‍යාපන ලේකම්

දරුවන්ට අධ්‍යාපනය ලැබීමට තරම් සුදුසු වටපිටාවක් නිර්මාණය වී ඇති බවට සෞඛ්‍ය අංශ නිර්දේශ කරන්නේ නම් වහාම පාසල් විවෘත කිරීමට අමාත්‍යංශය සූදානම් බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්, මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසනවා. මේ වනවිටත් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් ඇතුළු ඉහළ නිළධාරීන් සමග ඒ සම්බ්න්ධයෙන් සාකච්ඡා ආරම්භ කර ඇති බවයි ලේකම්වරයා සඳහන් කරන්නේ.

මේ වනවිට පාසල් ගුරුවරුන්ගෙන් 90% කට ආසන්න පිරිසකට කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නතේ පළමු මාත්‍රාව ලබා දී ඇති අතර ඉන් සැළකිය යුතු ප්‍රතිශතයකට එන්නත්කරණය අවසන් කර තිබෙනවා. මේ දිනවල කෑගල්ල, අම්පාර, පුත්තලම, වව්නියාව යන දිස්ත්‍රික්කවල ගුරුවරුන්ට දෙවැනි මාත්‍රාව ලබාදීමේ කටයුතු සිදුවන බවයි ලේකම්වරයා පවසන්නේ.

තවත් සීමිත කාලයක් තුළ පාසල් ගුරුවරුන් සහ අනධ්‍යයන සේවකයන් සියලු දෙනාට එන්නත්කරණය අවසන් කිරීමට නියමිතය.

කොවිඩ් වසංගතය තිබියදී මීට පෙර පාසල් කටයුතු ක්‍රියාත්මක වූ ආකාරය සම්බන්ධයෙන් සමාලෝචනයක් සිදු කරමින් පවතින බවත්, එම අත්දැකීම්ද සැළකිල්ලට ගෙන පාසල් පවත්වාගෙන යාමට අවශ්‍ය වැඩපිළිවෙලක් සකස් කර අධ්‍යාපන ඇමතිවරයා‍ වෙත යොමු කිරිමට බලාපොරොත්තු වන බවත් කපිල පෙරේරා මහතා සඳහන් කරනවා.

(LNW)