Saturday, February 21, 2026
Follow Us
සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විශේෂ තීරණයක්

දිවයිනේ සෑම රෝහලකම කොරෝනා රෝගීන් සදහා අවශ්‍ය ඔක්සිජන් සැපයීම සම්බන්ධයෙන් දෛනිකව නිරීක්‍ෂණය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව එහි ප්‍රතිඵල මත ඊට අදාළ නිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල නිලධාරීන්ට උපදෙස් දී ඇත්තේ.

ඔක්සිජන් අවශ්‍ය කරන සෑම රෝගියෙකුටම හිගයකින් තොරව ඔක්සිජන් ලබාදීමට හැකි උපරිම පියවර ගන්නා ලෙසද මෙහිදී උපදෙස් දී තිබෙනවා.

ඒ සදහා වඩාත් සුදුසු ක්‍රියාමාර්ග සෞඛ්‍ය හා තාක්‍ෂණික ක්‍රමවේදයන් ඔස්සේ ගන්නා ලෙසටයි අමාත්‍යවරයා වැඩිදුරටත් උපදෙස් දී ඇත්තේ.

මෙරට දෛනික ඔක්සිජන් නිෂ්පාදනය ටොන් 80 ක්. සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්තවලට අනුව මේ වනවිට එම ප්‍රමාණයද ඉක්මවා යමින් ඔක්සිජන් අවශ්‍යතාවක් මතුව තිබෙනවා. කොරෝනා වසංගතය ආරම්භවීමට පෙර මෙරට ඔක්සිජන් අවශ්‍යතාව පැවතුණේ ටොන් 20 ත් 25 ත් අතරයි.

ඒ අනුව දෛනික ඔක්සිජන් නිෂ්පාදනයට අමතරව අතිරේක ඔක්සිජන් ගබඩාවක්ද මෙරට තුළ ක්‍රියාත්මක අතර තවත් එවැනි ගබඩාවක් ඉදිකිරීමටයි සැලසුම් කර ඇත්තේ.

මේ වනවිට ඉන්දියාව සහ සිංගප්පූරුව යන රටවලින් ඔක්සිජන් මෙරටට ගෙන්වීමට කටයුතු යොදා තිබෙනවා.

(Neth)