Saturday, February 21, 2026
Follow Us
60 ට වැඩි අයට තෙවැනි මාත්‍රාව දෙනවාද ? 18-30 කාණ්ඩයට පළමු මාත්‍රාව දෙනවාද ?

කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය ලබන 06 වැනිදා දක්වා දීර්ඝ කිරීමට එහිදී තීරණය කෙරිණි.

දැනට සාර්ථකව ක්‍රියාත්මක වන එන්නත්කරණ වැඩපිළිවෙල සම්බන්ධයෙන් කරුණු සොයා බැලූ ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ අගෝස්තු 31 වැනිදා වනවිට වයස අවුරුදු 30 ඉක්මවූ ජනගහනයෙන් 85% ඉක්මවන ප්‍රමාණයක් පූර්ණ එන්නත්කරණයට ලක්කළ හැකි වන බවයි.

අවුරුදු 30 ඉක්මවූ පුද්ගලයන් සියලු දෙනාටම එන්නත් මාත්‍රා දෙකම ලබාදීමෙන් පසුව ප්‍රමුඛතාවය ලබාදිය යුත්තේ 18 - 30 වයස් කාණ්ඩයට එන්නත් ලබාදීමටද එසේ නැතහොත් වයස අවුරුදු 60 ඉක්මවූවන්ට තෙවැනි මාත්‍රාව ලබාදීමටද යන්න පිළිබඳව විමසා සිටියේය. ඊට ප්‍රතිචාර දක්වමින් ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති, විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළේ තෙවැනි මාත්‍රාව ලබාදීම රටවල් කිහිපයක සිදු කළද මේ දක්වා ලෝක සෞඛ්‍ය සංවිධානය ඒ සම්බන්ධයෙන් නිශ්චිතව කිසිවක් ප්‍රකාශ කර නොමැති බවයි.

කෙසේ නමුත් සැප්තැම්බර් මාසයේදී එන්නත් මාත්‍රා මිලියන 18 ක් ලැබීමට නියමිත බවද, ඒ අනුව 18-30 වයස් කාණ්ඩයට එන්නත් ලබාදීමෙන් පසුව ඔක්තෝබර් මාසය වනවිට තෙවැනි මාත්‍රාව ලබාදීමේ කටයුතු අනිවාර්යෙන් ආරම්භ කිරීමට හැකිවනු ඇති බවද ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කරනවා.

(LNW)