මෙරට කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ කොවිඩ් එන්නත් දෙකම ලබාගත් වයස අවුරුදු 30 ට වැඩි පුද්ගලයින්ගේ ප්‍රතිශතය සියයට 51 ඉක්මවා තිබෙනවා. යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ පුද්ගලයින් පනස් නව ලක්ෂ 51,602 දෙදෙනෙකු එන්නත් දෙකම ලබාගෙන ඇති බවයි.
මේ අතර ඊයේ දිනයේදී තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියනයක් මෙරටට රැගෙන එනු ලැබුවා. එම එන්නත් තොගය දිවයිනේ දිස්ත්‍රික්ක 15 ක ජනතාව සඳහා දෙවන එන්නත් මාත්‍රාව ලබාදීමට වෙන් කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ.
ඒ අතරින් එන්නත් මාත්‍රා එක් ලක්ෂ 60,000 ක් කුරුණෑගල දිස්ත්‍රික්කයට වෙන් කර ඇති අතර එන්නත් මාත්‍රා එක් ලක්ෂ 10,000 ක් ගාල්ල දිස්ත්‍රික්කයටත්, එන්නත් මාත්‍රා 80,000 ක් මාතර දිස්ත්‍රික්කයටත් වෙන් කර තිබෙනවා. රත්නපුර සහ බදුල්ල දිස්ත්‍රික්කවලට එන්නත් මාත්‍රා 80,000 බැගින් වෙන් කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලට එන්නත් මාත්‍රා 75,000 බැගින් වෙන් කර ඇති අතර කළුතර දිස්ත්‍රික්කයට එන්නත් මාත්‍රා 50,000 ක් වෙන් කර තිබෙනවා.
මේ අතර පෙරේදා දිනයේදී කොරෝනා මරණ 190 ක් සිදුව ඇති බව සෞඛ්‍ය සේව අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ තහවුරු කළා. ඒ අනුව මෙරටින් වාර්තා වි ඇති සමස්ථ කොරෝනා මරණ ගණන 7,750 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඊයේ දිනය තුළ මෙරින් වාර්තා වූ සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන 4,446 ක්. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන තුන් ලක්ෂ 98,801 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අතරින් තුන් ලක්ෂ 46,767 දෙනෙකු සුවය ලබා ඇති අතර ප්‍රතිකාර ලබමින් සිටින ආසාදිතයින් ගණන 44,474 ක් වන බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.
(Neth)