Sunday, February 22, 2026
Follow Us
වසංගතයෙන් බේරෙන්න ජනතාව රතන සූත්‍රය කියා ආධ්‍යාත්මික ශක්තිය වාතලයට මුසු කරන්න - චන්න

පවතින කොවිඩ් වසංගත තත්වයෙන් මිදීම සඳහා නිවෙස්වලට වී තම තමන්ගේ ආගමික චාරිත්‍ර අනුව ආධ්‍යාත්මික ශක්තිය එකතු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින අතර විශේෂයෙන්ම බෞද්ධයින් මේ සතියම සිය නිවෙස්වලට වී රතන සූත්‍රය සජ්ජායනා කර සිය ආධ්‍යාත්මික ශක්තිය වායුගෝලයට මුදාහරින්නැයි ඉල්ලා සිටින බව ඖෂධ සැපයුම් රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසයි.

"අපේ රටේ ජනතාව වගකීමකින් යුතුව මේ නිරෝධායන ඇඳිරි නීතියට එකඟව එහි අපේක්ෂිත පරමාර්ථ ඉෂ්ට සිද්ධ වෙන ආකාරයට කටයුතු කළොත් එහෙම මං හිතනවා අපට මේක ජයග්‍රහණය කරන්න පුළුවන් වෙයි, තව දින 10කින් සාමාන්‍ය පරිදි අපට වැඩ කටයුතු ආරම්භ කරන්න ලැබෙයි. ඇත්තටම මේ රටේ තියෙන තත්වය සලකලා අපි හැමෝම වගකීමෙන් කටයුතු කළොත් විතරයි අපට නැවත දින 10කින් සාමාන්‍ය තත්වයට පත්වෙන්න පුළුවන් වෙන්නෙ. මේ තත්වය උග්‍රවෙන්න, අසනීප තත්වය වැඩිවෙන්න අපි කටයුතු කළොත් අපි හැමෝම තේරුම් ගන්න ඕනෙ මේ කාලසීමාව තව දික්වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ජනාධිපතිතුමා කිව්වා වගේ සියලු දෙනාටම මීට වඩා කැපකිරීමක් කරන්න සිද්ධ වෙයි ඉදිරියේදී. මොකද මේ අපි හැමෝගෙම රට, හැමෝම එකතුවෙලා මේකට මුහුන දෙන්න ඕනෙ, ඒකෙන් තමයි අපට ජයගන්න පුළුවන් වෙන්නෙ.

ඉතිං අපි බටහිර වෛද්‍ය විද්‍යානුකූලව මේ මොහොතේ දෙන්න පුළුවන් උපරිම දේ තමයි එන්නත්කරණය. එතකොට ඒ එන්නත්කරණය අපට අපේ වගේ රටකට කරන්න පුළුවන් උපරිම මට්ටමෙන් මේ වෙනකොට අතිගරු ජනාධිපතිතුමාගෙ උපදෙස් පරිදි අපි රටපුරා දියත් කරගෙන යනවා. ඒ වගේම තමයි දේශීය වෛද්‍ය ක්‍රමයෙන් අපට ලබාගන්න පුළුවන් යමක් තියෙනවා නම් ඒ සියල්ලම මේ වසංගතය පාලනය කිරීම සඳහා යොදන්නත් අතිගරු ජනාධිපතිතුමා ඊයේ දිනයේදී ජනාධිපති කාර්ය සාධක බලකායට උපදෙස් ලබාදුන්නා.

ඒ වගේම තමයි අපි රටේ සියලු දෙනාගෙන්ම ඉල්ලනවා මේ වෙලාවෙ මේ වසංගතයෙන් මිදෙන්න මේ අවදානමෙන් මිදෙන්න ඔබ සියලු දෙනාගෙම ආධ්‍යාත්මික ශක්තිය අවශ්‍යයයි. සියලු දෙනාම ඒ වෙනුවෙන් තම තමන්ගෙ ආගම්වල හැටියට කටයුතු කරන්න ආධ්‍යාත්මික ශක්තිය එකතු කරන්න කියන ඉල්ලීමත් අපි කරනවා. විශේෂයෙන්ම බෞද්ධ ජනතාවගෙන් තමන් නිවෙස්වල ඉන්න මේ සතියේ රතන සූත්‍රය සජ්ජායනා කරලා මේ වසංගතයෙන් මිදෙන්න ඔබගේ ආධ්‍යාත්මික ශක්තිය මේ වාතලයට මුසු කරන්න කියන බොහොම ගෞරවනීය ඉල්ලීමත් අපි කරනවා"

අමාත්‍ය චන්න ජයසුමන මහතා මේ බව පැවසුවේ පෙරේදා (21) දිනයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

(LNW)