Sunday, February 22, 2026
Follow Us
පාස්කු විමර්ශන ගැන සමහරුන්ට ඇවිත් තියෙන හදිස්සිය හොඳ එකක් නෙවෙයි - කළුකොඩි විරෝධතාවට රජයේ පිළිතුර

පාස්කු ප්‍රහාරයේ විමර්ශන සහ නඩු පැවරීමේ කටයුතු දැනටමත් සිදු කෙරෙමින් පවතින අතරේ ඇතැමුන්ට මේ හදිස්සියක් පැමිණ ඇති බවත් ඒ හදිස්සිය හොඳ දෙයක් නොවන බවත් අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා පවසයි.

කළු කොඩි දැම්මාත් නැතත් ඒ විමර්ශන කටයුතු ඉදිරියට සිදු කෙරෙන බවයි ඒ මහතා සඳහන් කළේ.

"රජයක් හැටියට අතිගරු ජනාධිපතිතුමා ආරක්ෂක අංශවලට, බුද්ධි අංශවලට, අපරාධ අංශයේ පොලිස් නිලධාරීන්ට උපදෙස් දීලා තියෙනවා නිවැරදිවම වැරදිකාරයින් හොයන්න කියලා. දැනට දෙතුන් සීයක් රිමාන්ඩ් ගතවෙලා ඉන්නවා. නඩු දාලා තියෙනවා. හිටපු කැබිනට් ඇමතිවරයෙක් දැනට අධිකරණය මගින් රිමාන්ඩ් කරලා තියෙනවා නඩුව අහලා ඉවර වෙනකල් ඇප දෙන්න එපායි කියලා. ඉතිං ඉදිරියේදීත් මේ මේවාගෙ දේවල් සිද්ධ වෙයි.

ඒ ටික කෙරෙනකල් හදිස්සියක් තියෙනවා සමහර අයට. ඒ හදිස්සිය හොඳ හදිසියක් නෙවෙයි. ඒ නිසා කළුකොඩි එල්ලුවත් නැතත් විරෝධතා දැක්වුවත් නැතත් රජයක් හැටියට අපි අපේ ජනාධිපතිතුමා මේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වෙච්ච අයට ඉතාම තදින් ක්‍රියාත්මකව කටයුතු කරනවා කියන එක කියන්න කැමතියි"

අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා මේ බව පැවසුවේ ඊයේ (21) අනුරාධපුර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්තිය ඉටු නොවීමට විරෝධය පළ කරමින් කතෝලික සභාව විසින් ඊයේ දීප ව්‍යාප්තව පැවැත්වූ කළුකොඩි විරෝධතාව පිළිබඳ ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

(LNW)