Sunday, February 22, 2026
Follow Us
ඔන්ලයින් ක්‍රමය යටතේ උප්පැන්න, මරණ සහ විවාහ සහතික නිකුත් කිරීම ඇරඹේ

මාර්ගගත ක්‍රමය හෙවත් ඔන්ලයින් ක්‍රමය යටතේ උප්පැන්න, මරණ සහ විවාහ සහතික නිකුත් කිරීම රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව විසින් මේ වන විට ආරම්භ කර තිබෙනවා.

ඉකුත් 02 වනදා සිට ක්‍රියාත්මක මෙම මාර්ගගත ක්‍රමය හදුන්වාදීම ජාතික ආරක්ෂක හා ආපදා කලමනාකරණ රාජ්‍ය අමාත්‍යංශය යටතේ පාළනය වන රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව විසින් තබන ලද විශාල ඉදිරි පියවරක් බවයි ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න පැවසුවේ.

එමගින් උප්පැන්න, මරණ සහ විවාහ සහතික නිකුත් කිරීමේ පැවති අක්‍රමිකතා වැළැක්වෙන බවත්, කඩිනමින් අදාල සහතික පත්වල පිටපත් ලබා ගැනීමට ඉඩ ලැබෙන බවත් ආරක්ෂක ලේකම්වරයා පෙන්වා දුන්නා.

මෙම නව වැඩපිළිවෙල සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් ආරක්ෂක අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදී ආරක්ෂක ලේකම්වරයා මෙම අදහස් පළ කළා.

1960 වර්ෂයේ සිට 2018 වසර දක්වා ලියාපදිංචි කරන ලද උප්පැන්න, මරණ හා විවාහ සහතික මිලියන 36 ක් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ මධ්‍යගත පද්ධතියට ඇතුලත් කර ඇති බවයි මෙහිදී අනාවරණ කෙරුණේ. අන්තර්ජාලය ඔස්සේ ගෙවීම් කර මාර්ගගත ක්‍රමයට අදාල සහතික ලබාගැනීම සඳහා ඉල්ලුම් කළ හැකියි.

ඒ පිළිබද වැඩි විස්තර www.rgd.gov.lk වෙබ් අඩවියෙන් හෝ 011 2 88 95 18 යන දුරකතන අංකය ඔස්සේ ලබාගත හැකි බව රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.

(NEth)