Sunday, February 22, 2026
Follow Us
හිරේ ඉන්න පාතාලයන් මෙල්ල කරන්න කඩා පනින හමුදාවක්

හමුදා ​සේවයෙන් විශ්‍රාම ගිය අයට අලුත් වැඩක්


අධි ආරක්ෂිත බන්ධනාගාරවල රඳවා සිටින පාතාල හා මත්ද්‍රවය ජාවාරමුන්ගේ ක්‍රියාකාරකම් නිරීක්ෂණය ඇතුළු විශේෂ රාජකාරි සඳහා ත්‍රිවිධ හමුදාවෙන් විශ්‍රාම ගිය විශේෂ පුහුණුව ලත් දෙසිය දෙනකු සම්මුඛ පරීක්ෂණ මගින් තෝරාගෙන ඇත.

දැනට බන්ධනාගාර දෙපාර්තමේන්තුව යටතේ ඇති විශේෂ බුද්ධි ඒකකයට මෙම දෙසීය දෙනා අනුයුක්ත කරන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය ‘අරුණ’ ට පැවසීය.
විශේෂ ගණයේ අපරාධකරුවන් රඳවා ඇති බන්ධනාගාර සිර මැදිරි පරීක්ෂාව, ප්‍රබල පාතාලයන් අධිකරණ වෙත රැගෙන යාමේ රාජකාරි මෙම විශේෂිත කණ්ඩායමට පැවරෙන බවද හෙතෙම පැවසීය.

වසර 22ක සේවා කාලයෙන් පසු හමුදා ​සේවයෙන් විශ්‍රාම ගත් මාණ්ඩලික නිලධාරීන් ඇතුළු සෙසු නිලයන්හි විශේෂිත පුහුණුව ලත් දෙසීයක් මේ සඳහා තෝරාගෙන ඇත.

මෙම කණ්ඩායමට වසර පහකින් පසු අවශ්‍ය නම් බන්ධනාගාර සාමාන්‍ය රාජකාරි සඳහා වුවද එක්වීමට හැකි බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.

දැනටමත් බන්ධනාගාර බුද්ධි ඒකකයේ සහකාර බන්ධනාගාර අධිකාරිවරයකු යටතේ සියයක කණ්ඩායමක් සේවයේ නිරත අතර ඕනෑම බන්ධනාගාරයකට කඩා පනින හමුදාවක් සේ ගොස් හදිසි පරීක්ෂා කිරීම් සඳහා මෙම ඒකකයට බලතල ඇත.

(Aruna)