මහවැලි ගඟ ආශ්‍රිතව මහනුවර ප්‍රදේශයේ ඉදිකර ඇති සියළු අනවසර ඉදිකිරිම් පිළිබද විමර්ශනයක් සිදුකර වාර්තාවක් ලබාදෙන්නැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් ලබාදි තිබෙනවා.
මහවැලි ගඟ හරහා ගන්නෝරුව ප්‍රදේශයේ ඉදිකර තිබෙන එල්ලෙන පාලම අසල අනවසර ඉදිකිරීම් කිහිපයක් සම්බන්ධයෙන් මහනුවර දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී පැමිණිල්ලක් සිදුකර තිබුණා.
ඒ පිළිබද අවධානය යොමු කරමින් විෂයභාර අමාත්‍යවරයා මෙලෙස විමර්ශනයක් සිදුකර වාර්තාවක් ලබාදෙන ලෙස මධ්‍යම පරිසර අධිකාරියට දැනුම්දී තිබෙනවා.
අදාළ ප්‍රදේශයේ මහවැලි ගඟේ අලුතින් නිර්මාණය වී ඇති වැලි කඳු කිහිපයක් නිසා අධික වර්ෂාව පවතින කාලවලදී එම ස්ථානයෙන් මහවැලි ගඟ පිටාර ගැලීමට වැඩි ඉඩකඩක් පවතින බවට නිරීක්‍ෂණය වී තිබෙනවා.
මේ හේතුවෙන් මහවැලි ගඟ දෙපස ඉදිකර ඇති ඉදිකිරීම්වලට බරපතල තර්ජනයක් වී ඇති බවයි පෙනී ගොස් ඇත්තේ.
මහවැලි ගඟ දෙපස ඉදිකර ඇති බොහෝ ඉදිකිරීම්වලට පරිසර වාර්තා ගෙන නොමැති බවද අනාවරණ වී තිබෙනවා.
එලෙස අවිධිමත් ලෙස පරිසර වාර්තා නිකුත් කර ඇත්තේ කවුරුන්ද යන්න ඉකුත්දා පැවති මහනුවර දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර විමසීමක්ද සිදුකළා. මහවැලි ගඟේ වැලි කඳු ඉවත් කිරිම සම්බන්ධයෙන් වහාම නිලධාරීන් පිරිසක් එම ස්ථානය වෙත යොමු කර පරීක්‍ෂාවට ලක් කරන ලෙසයි අමාත්‍ය මහින්ද අමරවීර භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යාංශයට දැනුම්දී ඇත්තේ.
මහනුවර නගර සීමාව තුළ මහවැලි ගඟ ආශ්‍රිතව ඉදිකර ඇති සියළු අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් සහ ඒවාට පරිසර වාර්තා ලබාදී ඇත්නම් ඒවා විධිමත් පරීක්‍ෂණයකින් නිකුත් කර ඇද්ද යන්න වහාම තමන්ට වාර්තාවක් ලබාදෙන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මෙහිදී මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් ලබාදී තිබෙනවා.
ඒ අනුව ඉදිරි සති දෙක තුළ මධ්‍යම පරිසර අධිකාරිය සහ භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යාංශය මහනුවරට ගොස් ඒ පිළිබද විමර්ශන ආරම්භ කිරීමට නියමිතයි.
(Neth)