Sunday, February 22, 2026
Follow Us
ඇවන්ගාඩ් සමුද්‍ර ආරක්ෂණ සමාගමට යළි අවසර ලබාදීමේ කැබිනට් පත්‍රිකාව අද කැබිනට් මණ්ඩලයට

ඇවන්ගාඩ් සමාගමට යළි සමුද්‍රාරක්ෂණ ව්‍යාපාරික කටයුතු ඇරඹීම සඳහා අවසර ලබාදීමේ කැබිනට් පත්‍රිකාව අද (09) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.

පසුගිය රජය සමයේ එම සමාගමට එරෙහිව පවරා තිබුණු නඩු දෙකෙන්ම මේ වනවිට එම සමාගම අධිකරණය විසින් නිදහස් කර තිබේ. ඒ අනුව කොන්දේසි සහිතව යළිත් ව්‍යාපාරික කටයුතු ඇරඹීම සඳහා ඇවන්ගාඩ් සමුද්‍රාරක්ෂණ සමාගමට අවසර ලබාදීමට මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කෙරෙන බව සඳහන්.

පසුගිය වසර කිහිපයක් තිස්සේම ඇවන්ගාඩ් සමාගම සම්බන්ධයෙන් සිදුවුණු ක්‍රියාදාමය අතිශයින්ම දේශපාලනික එකක් බව රහසක් නොවේ. ඇවන්ගාඩ් සමාගමේ ව්‍යාපාරික කටයුතු අත්හිටුවීම යහපාලන රජය විසින් කළ ලොකුම මෝඩකම් අතරින් එකක් බව කිවයුතුය. නැටූ නැටුමකුත් නොමැතිව බෙරයේ පළුවකුත් නොමැතිව එය අවසන් වූ ආකාරයෙන්ම ඇවන්ගාඩ් නඩුව තේරුමක් නොමැති එකක් බව පැහැදිලිය.

යම් ප්‍රශ්නයක් තිබිණි නම් එය රටට ඩොලර් උපයන දේශීය සමාගමක් වසා නොදමා විසඳා ගැනීමට රජයකට හැකි විය යුතුය. රටට ආදායම් උපයන නීත්‍යානුකූ‍ල ව්‍යාපාරයක් වසා දැමීමෙන් රටට ලැබෙනා යහපතක් නැත. විශෙෂයෙන්ම රටක නිල හමුදාවකට ජාත්‍යන්තර නීති අනුව ඉටුකළ නොහැකි පෞද්ගලික ව්‍යාපාරික කටයුත්තක් බොරු දේශප්‍රේමයක් රණවිරුගායක් පෙන්නා, එය සාර්ථකව සිදුකළ ව්‍යාපාරිකයාගෙන් ගළවාගෙන නාවික හමුදාවට පැවරීම පිස්සුවකි. අවසානයේ සිදුවුනේ රටට උපයාගැනීමට තිබුණු විශාල විදේශ විනිමය ප්‍රමාණයක් අහිමි වීම පමණි.

එහෙයින් රට දැවැන්ත විදේශ විනිමය හිඟයකට මුහුණ පා සිටින මෙවන් අවස්ථාවක දේශපාලන අවලාද පසෙක තියා කළයුතුව ඇත්තේ නීත්‍යානුකූලව ඩොලර් ඉපයීමට හැකි සුවිශේෂී ව්‍යාපාරයක් සම්බන්ධයෙන් ඒ පළපුරුද්ද සහිත ඇවන්ගාඩ් සමාගමට ඒ අවසරය ලබාදීමය. රටකට ඩොලර් හිඟවීම හුදෙක් ධනවතුන්ට පමණක් බලපාන ප්‍රශ්නයක් නොවේ. සීනි, පරිප්පු, කිරිපිටි හිඟවන විට ඒවායේ මිල අසාමාන්‍ය ලෙස ඉහළ නඟින විට වැඩියෙන්ම අමාරුවේ වැටෙන්නේ දුප්පත් ජනතාව මිස ධනවතුන් නොවේ.


(LNW)