Sunday, February 22, 2026
Follow Us
පළාත් සංචරණ සීමා අවභාවිත නොකරන්නැයි ඉල්ලීමක්

පළාත් අතර සංචරණ සීමා පිළිපැදීමට සියලුදෙනා අනිවාර්යයෙන්ම කටයුතු කළ යුතු බව යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. ඔහු කියා සිටියේ රැකියා අවශ්‍යතා මත පමණක් ලබාදී ඇති ලිහිල් කිරීම් අවභාවිත නොකළ යුතු බවයි.

සෞඛ්‍ය උපදෙස් පිළිපදිනවාදැයි සෑම විටම පොලීසියට පරීක්ෂා කිරීමට නොහැකි බවත්, ජනතාවට ද වගකීමක් ඇති බවත් මෙහිදී ප්‍රකාශ කෙරුණා.

මේ අතර හැකි සෑම අවස්ථාවකම සංචරණය සීමා කරන ලෙසට සෞඛ්‍ය අමාත්‍යාංශයද ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. මේ ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වු සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්.

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ජනයා සමූහ වශයෙන් එක්රැස් වන වෙනත් කාර්යයන්ට ද සීමා පනවා ඇති බවයි යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ. ඒ අනුව විවාහ මංගල උත්සව සහ අවමංගල්‍ය කටයුතු පැවැත්වීම සම්බන්ධයෙන් පැනවූ නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකයි.

ඒ අනුව විවාහ මංගල උත්සවයකදී ආසන ධාරිතාව 500 ට වඩා වැඩි ශාලාවකට ඇතුළු කරගත හැකි පුද්ගලයින් සංඛ්‍යාව 150 කට සීමා කර තිබෙනවා. ආසන ධාරිතාව 500ට වඩා අඩු ශාලාවකට ඇතුළු කර ගත හැක්කේ පුද්ගලයින් 100 දෙනෙකු පමණයි. අවමංගල්‍ය කටයුතු සඳහා සහභාගී විය හැකි උපරිම පුද්ගලයින් සංඛ්‍යාව 25 කට සීමා කිරීමටයි තීරණය ඇත්තේ.

මේ අතර පළාත් අතර පනවා ඇති සංචරණ සීමා උල්ලංඝණය කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක බව පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ සංචරණ සීමා උල්ලංඝණය කරමින් කොළඹ නගරයට හා බස්නාහිර පළාතට පුද්ගලයින් ඇතුළුවන තත්ත්වයක් දක්නට ලැබෙන බවයි.

(Neth)