ළමා මෙහෙකාර සේවය පිළිබඳ අනාවරණය වී ඇති තොරතුරු වලට අනුව ඉන් ඉහළ ප්‍රතිශතයක් වතු ආශ්‍රිත දරුවන් බවත් මේ තත්ත්වය වළක්වා ගැනීමට අවශ්‍ය බලතල ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් ක්‍රියාත්මක විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දෙනවා.
වතු ආශ්‍රිත පවුල්වල තොරතුරු ග්‍රාම නිලධාරීන් සතු බවත් යම් නිවසක දරුවෙකු නොමැති බවට ලැබෙන තොරතුරු මත ඒ පිළිබඳව කඩිනමින් ක්‍රියාත්මක වී ළමා මෙහෙකාර සේවය නැවැත්වීමට පියවර ගත යුතු බවයි මෙහිදී ජනාධිපතිතුමා අවධාරණය කර සිටියේ.
ජාතික ළමා ආරක්ෂක අධිකාරිය හා රේඛීය ආයතන සමග අද (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා මේ බව සඳහන් කර සිටියා.
ළමා හා කාන්තා හිංසනයන් වැළැක්වීමට රාජ්‍ය අමාත්‍යාංශය ගෙනයන වැඩපිළිවෙළ ඇගයීමට ලක්කළ ජනාධිපතිතුමා වෙනත් රටවල ළමා සංවර්ධනය සඳහා කර ඇති පර්යේෂණය අධ්‍යයනය කර, නාගරිකව හා ග්‍රාමීයව එම ක්‍රමවේදයන් ක්‍රියාත්මක කිරීමට ඇති හැකියාව පෙන්වා දුන්නා.
අනිවාර්යය කර ඇති පෙර පාසල්, පාසල් හා දහම් පාසල් අධ්‍යාපනයට සියලු දරුවන් යොමු කරවීමත්, ළමුන් පාසල් නොයැවීමට හේතු සොයා ඊට පිළියම් යෙදීමත් ළමා ආරක්ෂක අධිකාරිය සතු ප්‍රධාන වගකීමක් බව ජනාධිපතිතුමා සඳහන් කළේ.
සියලු ආගම්වලට අයත් ළමුන් දහම් පාසල් වෙත යොමු කිරීමෙන් ලැබෙන අධ්‍යාත්මික ගුණ වගාව තුළින් දරුවන් හා දෙමාපියන් අතර සම්බන්ධය ශක්තිමත් කළ හැකි බව ජනාධිපතිතුමා විසින් පෙන්වා දෙනු ලැබිණ.
මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහි වී ඇති දරුවන් ඉන් මුදා ගත යුතු අතර ඊට සමගාමීව ඔවුන් ඒ සඳහා පෙළඹීමට බලපෑ සාධක අධ්‍යයනය කර පිළියම් දීමේ අවශ්‍යතාව රාජපක්ෂ මැතිතුමා අවධාරණය කර සිටියා.
සේවා ස්ථාන වශයෙන් ගෙන කාන්තා හිංසනය පිළිබඳව දැනුවත් කිරීම, මව්වරුන් විදේශගත පවුල්වල දරුවන් පිළිබඳ විශේෂ සැලකිල්ලට ලක්කිරීම, හිංසනයට ලක්විය හැකි බවට සැක සහිත පවුල්වල දරුවන් පිළිබඳ පෙර හඳුනාගැනීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා පෙන්වා දුන්නා.
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් ගේ නිවසේ දී පිළිස්සීමට ලක් වී මිය ගිය දැරිය වෙනුවෙන් නිවසක් ඉදිකර දීමට හා පවුලේ ආර්ථික තත්ත්වය නඟා සිටුවීමටත්, සහෝදරියන් දෙදෙනෙකුට ස්වයං රැකියා අවස්ථා උදාකර දීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මෙහිදී සඳහන් කර සිටියා.
ළමා හා ස්ත්‍රී අපයෝජන වැළැක්වීමට ගෙන ඇති ක්‍රියාමාර්ග, ඒ හා සම්බන්ධ අධිකරණ කටයුතු කඩිනම් කිරීමට ගෙන ඇති පියවර පිළිබඳව ද අමාත්‍යවරයා විසින් පෙන්වා දෙනු ලැබුවා.
(Neth)