Sunday, February 22, 2026
Follow Us
මේ මොහොතේ ගුරු වැටුප් වැඩිකිරීමට නොහැකි බවට කැබිනට් මණ්ඩලය ඒකමතිකව තීන්දු කළා - ලොකුගේ

රටේ පවතින මූල්‍ය අර්බුදය අනුව මේ මොහොතේ ගුරු - විදුහල්පතිවරුන්ගේ වැටුප් වැඩිකිරීමක් කළ නොහැකි බවටත් ඒ පිළිබඳ යමක් කිරීමට ඉදිරි අයවැයේදී සලකා බැලීමටත් කැබිනට් මණ්ඩලය ඒකමතිකව තීන්දු කළ බව අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසයි.

"අධ්‍යාපන ප්‍රශ්නය ඉතිං අපේ ප්‍රශ්නයක් නෙවෙයිනෙ. ඒක පහුගිය කාලෙ ආණ්ඩුව කාලෙ තිබිච්ච ප්‍රශ්නයක්, දැන් අපෙන් ඉල්ලනවා. මේ වෙලාවෙ අපි ගාව දෙන්න සල්ලි නෑ. ආයෙ අයවැය ලේඛනයෙන් තමා අපි ඒ ගැන කල්පනා කරන්නෙ"

ප්‍රශ්නය - ඒ කියන්නෙ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වුණාද යෝජනාව ?

"ඔව්, ඔව්. මේ රටේ තියෙන මුදල් තත්වයත් එක්ක ඒක ගෙවන්න පුළුවන්කමක් නෑ. ඒ හින්දා අපි ඒගොල්ලන්ට කියනවා අනාගතයේ අපි ගෙවනවා ඒක"

ප්‍රශ්නය - දැන් එතකොට අද දිනයේදී මොනවගේ තීරණවලටද ආවෙ ?

"අද දිනයේදී ඒ ගැන කතා කළා. ඒක ඉතිං ඒගොල්ලොන්ව දැනුවත් කරන්න කිව්වා මේ තත්වය පිළිබඳ පැහැදිලි කරලා. බිලියන 56ක් ඕනෙ ඒ කියන ඉල්ලීම දෙන්න නම්. එහෙම 56ක් මේ වෙලාවෙ වැය කරන්න පුළුවන්කමක් නෑ"

ප්‍රශ්නය - මේ වර්ජන ක්‍රියාමාර්ගය එතකොට දිගටම යනවානෙ ? මොනවද කරන්නෙ ඒකට ?

"වර්ජනය ගිහිල්ලා ඉතිං ... ඒගොල්ලොන්ට වර්ජනය කරන එක අපට එපා කියන්න බෑනෙ, නිදහසක්නෙ. ඒක කරපුවාවෙ"

ප්‍රශ්නය - ජනාධිපතිතුමා මේකට සුබදායී පිළිතුරක් දුන්නෙම නැද්ද ඒ කියන්නෙ ?

"නෑ, සුබදායී පිළිතුර තමයි අයවැය ලේඛනයෙදි අපට ඒකට කරන්න පුළුවන් දෙයක් බලලා කරනවා"

ප්‍රශ්නය - දැන් ඒකමතිකව තීන්දුවකට ආවාද සියලු දෙනාගේම කැමැත්තෙන් ?

"නැතුව ? ඒකමතිකව තමා"

අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා මේ බව පැවසුවේ ඊයේ (02) රාත්‍රියේ පැවති කැබිනට් රැස්වීමෙන් අනතුරුව පිටව යන අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමිනි.

(LNW)