සුරාබදු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව යන ආයතන තුන සම්බන්ධ කරමින් එක් පරිගණක දත්ත පද්ධතියක් ක්‍රියාත්මක කරන ලෙස දිගින් දිගටම ලබා දුන් උපදෙස් මේ දක්වා ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව සිය අප්‍රසාදය එම ආයතන වෙත පළ කර ඇත.
මේ බව ගිණුම් කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් වේ.
අදාළ පරිගණක දත්ත පද්ධතිය සැකසීම සහ කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා රේගුව, සුරා බදු සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තු ඒකාබද්ධ කිරීමේ සම්බන්ධීකරණ කටයුතු වෙනුවෙන් මුදල් අමාත්‍යාංශයට මැදිහත් වන ලෙසත් එහි සැලසුම් හා ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් මසක් ඇතුළත කාරක සභාව වෙත ඉදිරිපත් කරන ලෙසත් දැනුම් දී ඇති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව අදාළ ක්‍රියාවලිය මාස තුනක් ඇතුළත ක්‍රියාත්මක කරන ලෙසත් දැනුම් දී ඇත.
ඒ අනුව මුදල් අමාත්‍යාංශය හා සුරාබදු දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් වාර්තා දෙකක් කාරක සභාව වෙත ලබාදී ඇති බවද එම වාර්තාවේ සඳහන් වේ .
එමෙන්ම පවතින ගැටලු නිරාකරණය කර ගැනීමේ අරමුණින් සුරාබදු දෙපාර්තමේන්තුව මොරටුව විශ්වවිද්‍යාලයේ උපදේශනය යටතේ පරිගණක පද්ධතියක් (සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම් කළමනාකරණ මෘදුකාංග පද්ධතිය) සැකසීමේ කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවද කාරක සභාව දැනුම් දී ඇත.
(Aruna)