Monday, February 23, 2026
Follow Us
අස්ථානගත දුරකථන සොයන්න TRCයෙන් නව ක්‍රමයක්

මෙරට තුළ අස්ථානගතව ඇති සමස්ත දුරකතනවලින් සියයට හැත්තෑවක්ම නැවත සොයා දීමට හැකි වූ බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ පාරිභෝගික පැමිණිලි අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා මේනකා පතිරණ ‘අරුණ’ට ඊයේ (25දා) පැවසුවාය.

දුරකථන අස්ථානගත වීම් සම්බන්ධයෙන් පැමිණිලි බොහොමයක් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත ලැබෙන නමුත් දුරකතන අස්ථානගත වන පුද්ගලයින් බොහෝ දෙනෙකුටම ඒ සම්බන්ධයෙන් කටයුතු කළ‍යුතු ආකාරය ගැන දැනුවත්කමක් නැති බවද ඇය ප්‍රකාශ කළාය.

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පොලිස් දෙපාර්තමේන්තුව සමග සම්බන්ධ වී නව ක්‍රමවේදයක් හඳුන්වලා දී තිබෙන බවත් ඒ ක්‍රමවේදයට අනුව දුරකථනය අස්ථාන ගත වූ කෙනකුට තමන්ගේ නිවෙසටම වී මාර්ගගත ක්‍රමයට අනුව පැමිණිල්ලක් යොමුකළ හැකි බවත් ඇය ප්‍රකාශ කළාය.

www.police.lk වෙබ් අඩවියට සම්බන්ධ වී ඒ පිළිබඳ පැමිණිලි කළ හැකි බවත් එම පහසුකම නැති කෙනෙකුට ළඟම තිබෙන පොලිස් ස්ථානයට ගොස් පැමිණිලි කළ හැකි බවත් පොලිස් පැමිණිල්ලකින් තොරව දුරකතන ගැන සෙවීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට නොහැකි බවත් ඇය සඳහන් කළාය.

දුරකතනයක් නැති වූ අයෙකු ප්‍රථමයෙන්ම තම සිම්පත අක්‍රීය කර එම අංකයටම නව සිම්පතක් ගෙන පෙර දුරකනය මගින් ස්ක්‍රීය කර තිබුණු සමාජ මාධ්‍ය ගිණුම් (වට්ස් ඇප්, වයිබර්, ඉමෝ, ෆේස්බුක්, ඉන්ස්ටර්ග්‍රෑම්) හා මාර්ගගත බැංකු ගිණුම් අක්‍රීය කළ යුතු බවත් එමගින් තම සිම්පත සහ පෞද්ගලික ගිණුම් අවභාවිත වීම වළකාගත හැකි බවත් අධ්‍යක්ෂවරිය සදහන් කළාය.

(Aruna)