ඉන්ධන මිල අඩුකර ජනතාවට සහන සැළසීමට තමා ඉතා කැමැත්තෙන් සිටින බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. කෙසේ නමුත් ඉන්ධන යනු ජාත්‍යන්තර වෙළඳපොල සමග සිදු කරන, ඩොලර්වලින් සිදු කරන ගනුදෙනුවක් බැවින් දේශීය වෙළඳපොලේ ඉන්ධන මිල එහා මෙහා දැමීම ලෙහෙසියෙන් සිදුකළ නොහැකි බවයි ඇමතිවරයා පවසන්නේ.
මුදල් අමාත්‍යංශයේදී පැවති සාකච්ඡාවකදී බැසිල් රාජපක්ෂ මහතා පවසා තිබෙන්නේ දේශීයව නිෂ්පාදනය කරල සහල්වල, පොල්වල මිල අඩු කරන ආකාරයෙන් ඉන්ධන මිල අඩුකළ නොහැකි බවයි.
බැසිල් රාජපක්ෂ මහතා මුදල් ඇමතිවරයා ලෙස දිවුරුම්දීමට පෙර පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීවරුන් සඳහන් කළේ බැසිල් රාජපක්ෂ මහතා දිවුරුම්දීමෙන් පසුව ඉන්ධන මිළ පහත දැමීමට කටයුතු කරනු ඇති බවයි. කෙසේ නමුත් මේ දක්වා ඉන්ධන මිල අඩුකර නොමැති අතර ඒ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් සිදුකළ විමසීමට ප්‍රතිචාර දක්වමින් බැසිල් රාජපක්ෂ මහතා ඉහත කරුණු සඳහන් කර තිබෙනවා.
ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කාර්යක්ෂමතාවය සම්බන්ධයෙන්ද මුදල් ඇමතිවරයා අදහස් දක්වා ඇති අතර ඔහු පවසන්නේ සංස්ථාව තුළ සේවයකයන් 6000 ට අධික ප්‍රමාණයක් සේවය කරන බවයි. මෙම පිරිස නඩත්තු කිරීම සඳහාද වාර්ෂිකව විශාල මුදලක් වැයවන බව පෙන්වා දෙන මුදල් අමැතිවරයා සඳහන් කරන්නේ සමස්ත ලෝකයේම තෙල් මිල පාලනය කරන ඔපෙක් සංවිධානයේ සිටින්නේද සේවකයන් 300 ක් වැනි ප්‍රමාණයක් බවයි.
(LNW)