අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් නියෝග මත සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් "හරක් කටා" නමැත්තාට විමර්ශනවලින් නිදහස් වීමට සහ ජීවිත ආරක්ෂාව සලසා දීම ඇතුළු කරුණු කිහිපයක් වෙනුවෙන් රුපියල් කෝටි 12 ක (ලක්ෂ 1200) අතිවිශාල මුදලක් අල්ලස් වශයෙන් ලබාගැනීමේ චෝදනාව මත පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අද (25) මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
හිටපු අධිකරණ හා බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුතා වන නීතීඥ රඛිත නිර්මල රාජපක්ෂ සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක චරිත වසන්ත කුමාර අබේසිංහ සහ ශ්‍රී ලංකා ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගමේ හිටපු අධ්යක්ෂවරයෙක් වූ වරුෂ හැන්නැදිගේ අරුණ ශ්‍රී චතුරංග මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
කොමිෂන් සභාව සඳහන් කරන පරිදි, මෙම සැකකරුවන් විසින් 2023 වර්ෂයේදී ඩුබායි රාජ්‍යයේදී "හරක් කටා" නමැත්තාගේ බිරිඳ වන මධුෂිකා මධුවන්ති නැමැත්තියගෙන් මුලින්ම රුපියල් ලක්ෂ 5000ක (කෝටි 50ක) මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ඇත.
පසුව එම මුදල රුපියල් ලක්ෂ 2000 (කෝටි 20) දක්වා අඩු කර ඇති අතර, ඉන් අත්තිකාරම් මුදලක් ලෙස රුපියල් ලක්ෂ 1200 ක (කෝටි 12) මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගෙන තිබේ.
රැඳවුම් භාරයේ සිටින "හරක් කටා" ගේ ජීවිතය ආරක්ෂා කර දීම (ඝාතනය කිරීම වැළැක්වීම) , සැකකරුගේ රැඳවුම් නියෝග ඉවත් කර බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරය හැර වෙනත් බන්ධනාගාරයකට යොමු කර දීම, විමර්ශන කටයුතු සහ ඊට අදාළ කටයුතු වලින් ඔහුව නිදහස් කර දීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම යන කරුණු මුල්කරගෙන මෙම අල්ලස් මුදලක් ලබා ගැනීම හේතු වී තිබේ.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ මාධ්‍ය ඒකකය සඳහන් කරන්නේ අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ බවයි.
අනතුරුව තිදෙනාම ලබන 3 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.