Sunday, April 26, 2026
Follow Us
ජාතික ප්‍රවාහන ක්‍රියාකාරී සැලැස්ම තුළින් මෙරට රිය අනතුරු අවම කරන්න කටයුතු කරනවා. - අමාත්‍ය බිමල් රත්නායක

මෙයින් මාස දහඅටකට පෙරාතුව ජනතාව විසින් බලයට පත්කල වත්මන් රජය යටතේ පොදු ප්‍රවාහනයේ ආරක්‍ෂාවට තිරසර වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇති බවත්, රිය අනතුරු හේතුවෙන් වසරකට අහිමිවන 2,700 කට අධික මානව සම්පත ආරක්‍ෂා කර ගනිමින් ප්‍රවාහනයේ ආරක්‍ෂාව තහවුරු කිරීමට රජය විසින් ‘ජාතික ප්‍රවාහන ක්‍රියාකාරී සැලැස්මට’ අනුකූල සියලු ක්‍රියාමාර්ග ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කරන බවත් ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ අදහස් ප්‍රකාශ කලේ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ පවතින ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය විසින් ‘අහඹු මත්ද්‍රව්‍ය පරීක්‍ෂාව පිළිබඳ මූලධර්ම සහ භාවිතය’ තේමාව යටතේ ආයතන මට්ටමින් නිලධාරීන් දැනුම්වත් කිරීම සඳහා සංවිධානය කරන ලද එක් දින විශේෂ වැඩමුළුව හා එක්වෙමිනි.

මෙම වැඩමුළුව ඊයේ (25) කොළඹ 07 පිහිටි ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ (SLIDA) ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ.

ජෛව සාම්පල්වල මත්ද්‍රව්‍ය පරීක්‍ෂාවේදී විද්‍යාත්මක කරුණු පිළිබඳ අවබෝධය සහ දැනුම ලබාදීම මෙහි අරමුණ විය. මෙම වැඩමුළුව රජයේ රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුවේ සම්පත් දායකත්වයෙන් ක්‍රියාත්මක වූ අතර, ඊට ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ වෛද්‍යවරු, රසායනාගාර කාර්මික විද්‍යාඥයින්, සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ පවතින රෝහල්වල ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීන්, පශ්චාත් උපාධි පුහුණුවේ යෙදී සිටින අධිකරණ වෛද්‍ය නිලධාරීන් ඇතුළු විවිධ ක්‍ෂේත්‍රවල විද්වතුන් හා වෘත්තිකයින් එක්වූහ.

වැඩිදුරටත් වැඩමුළුව අමතා සිය දේශනය සිදුකල බිමල් රත්නායක අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.
‘රජය විසින් ප්‍රවාහනයේ ආරක්‍ෂාව තහවුරු කරන්න විශාල වැඩ කොටසක් ඉටුකර තිබෙනවා. කොතරම් මාර්ග සංවර්ධනය කලත් නවීන වාහන ආනයනය කලත් යටිතල පහසුකම් වැඩිදියුණු කලත් නිසි පුහුණුවක්, විනයක් නොමැති වූ විට මාර්ගයේ ආරක්‍ෂාව නැතිවෙනවා. වසරකට සිදුවන 2,700 කට අධික ජීවිත අහිමිවීම ක්‍රමිකව අඩුකරගන්න ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබෙනවා. 2029 වසර වනවිට සිදුවන මරණ සංඛ්‍යාව විශාල ප්‍රතිශතයකින් අඩුකර ගැනීම ඉලක්කයයි.

මත්ද්‍රව්‍ය භාවිත කරන සියයට පහලොවක්, දහඅටක් අතර සංඛ්‍යාවක් සිටින බව දැනට වාර්තා වෙනවා. සියයට පනස්තුනක් අනතුරුවලට හේතුව රියදුරන්ගේ ප්‍රශ්න. අනතුරුවලට පහසුවන ක්‍රියාකාරකම් සිදුවෙනවා. විනයක්, පුහුණුවක් නැතුව ප්‍රවාහනයේ ආරක්‍ෂාව හදන්න බැහැ. රජය විදියට ප්‍රවාහන ක්‍රියාකාරී සැලැස්ම ප්‍රකාරව ප්‍රවාහනයේ ආරක්‍ෂාව ඇති කරන්න පියවර ගන්නවා. මගී ආරක්‍ෂාව අංක එකට ගෙන තිබෙනවා. අදහස්වලට එහා ගිය ක්‍රියාමාර්ගවලට ගිහින් තියෙනවා. රටට ගැළපෙන ප්‍රමිතිගත බස් රථ හා වාහන ආනයනය කරනවා. නිෂ්පාදිත වගකීම ගැන සැලකිලිමත් වෙනවා. මේ සියලු ආරක්‍ෂිත ප්‍රතිසංස්කරණ මගින් ප්‍රවාහනයේ ආරක්‍ෂාව සැලසීමට කටයුතු කරනවා. මෙම ජාතික කර්තව්‍ය සාර්ථක කරගැනීමට සමාජ පාඨමාලාවක් ලෙස සිදුකිරීම අවශ්‍ය වෙනවා.’

මෙම අවස්ථාවට ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති මහාචාර්ය ක්ලිෆර්ඩ් පෙරේරා, වෛද්‍ය ශාමිකා සමරසේකර යන මහත්ම මහත්මීහු, වෛද්‍යවරු, රසායනාගාර විද්‍යාඥවරු, පශ්චාත් උපාධි අධිකරණ වෛද්‍යවරු ඇතුළු ක්‍ෂේත්‍ර රැසක් නියෝජනය කරමින් පිරිස් එක්ව සිටියහ.